• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

දිළිඳුකම පිටුදැකීමට ජනපතිගෙන් විශේෂ මෙහෙයුම් කමිටුවක්

Persident meeting 2016 11 25ලබන 2017 වසර රට දිළිදුබවින් නිදහස් කර ගැනිමේ වසර ලෙස රජය විසින් ප‍්‍රකාශයට පත් කර තිබෙන අතර ඒ පිළිබඳ මූලික ප‍්‍රවේශයන් සහ කි‍්‍රයාත්මක කළ යුතු වැඩසටහන් පිළිබඳ අධීක්ෂණය කර අදාළ වැඩපිළිවෙළ කි‍්‍රයාත්මක කිරීම සඳහා ජනාධිපතිතුමා විසින් විශේෂ මෙහෙයුම් කමිටුවක් පත් කර තිබේ. 
අමාත්‍ය සරත් අමුණුගම මහතාගේ සභාපතිත්වයෙන් යුත් එම කමිටුවේ සෙසු සාමාජිකයින් ලෙස අමාත්‍යවරුන් වන රවී කරුණානායක, කබීර් හෂීම්, සජිත් පේ‍්‍රමදාස, දකුණු පළාත් ආණ්ඩුකාර හේමකුමාර නානායක්කාර, උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඞ් කුරේ යන මහත්වරුන් සහ පූජ්‍ය අතුරලියේ රතන ස්වාමින් වහන්සේ ද, ජනාධිපති ලේකම් පී.බී. අබේකෝන්, අග‍්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක යන මහත්වරුන් කටයුතු කරති.

2017 වර්ෂය රට දිළිදුබවින් නිදහස් කර ගැනීමේ වසර ලෙස කි‍්‍රයාවට නැංවීම සහ ශී‍්‍ර ලංකාවේ දරිද්‍රතාවය පිටුදැකීමේ උපාය මාර්ගික ප‍්‍රවේශය පිළිබඳ සාකච්ඡා කිරීමට ජනාධිපතිතුමා විසින් විශේෂ සාකච්ඡාවක් අද (25) දහවල් කැඳවා තිබුණි.

පාර්ලිමේන්තුවේ දී පැවති මෙම සාකච්ඡාවට අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ඇතුළු මැති ඇමතිවරුන්, පළාත් ආණ්ඩුකාරවරුන්, ප‍්‍රධාන අමාත්‍යවරුන් සහ ජනාධිපති ලේකම් පී.බී. අබේකෝන් මහතා ඇතුළු අමාත්‍යාංශ ලේකම්වරු සහ රාජ්‍ය නිලධාරිහු සහභාගී වූ අතර එහිදී ජනාධිපතිතුමා විසින් මෙම කමිටුව පත් කරනු ලැබීය.

සෑම ක්ෂේත‍්‍රයකම යෝජනා සහ අදහස් ලබාගෙන මූලික සැලැස්මක් සකස් කිරීම මෙම සාකච්ඡාවේ අරමුණ වූ අතර අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ද පළාත් මහා ඇමතිවරුන් සහ මහබැංකු අධිපතිවරයා ද සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යාංශයේ නිළදාරිහු ද මෙහිදි දීර්ඝ වශයෙන් කරුණු ඉදිරිපත් කළහ.

එම සියලු කරුණු සලකා බැලූ ජනාධිපතිතුමා මෙම වැඩසටහන බිම් මට්ටමින් ප‍්‍රායෝගිකව කි‍්‍රයාත්මක කළයුතු බවට ද උපදෙස් ලබා දුන් අතර සෑම පළාත් සභාවක්ම සහ රේඛිය අමාත්‍යාංශයක්ම ඉදිරි දිනවලදී රැස්වී සාකච්ඡාකර සංෂිප්ත යෝජනා ඉදිරිපත් කරන ලෙසට ද උපදෙස් දුන්නේය.

සෑම අමාත්‍යාංශක් විසින්ම ලබන ජනවාරි පළමු සතිය තුළ වැඩසටහනට අදාළ සුදුසු ව්‍යාපෘතියක් කි‍්‍රයාවට නැංවිය යුතු බවට ද උපදෙස් දුන් ජනාධිපතිතුමා පත්කරන ලද විශේෂ මෙහෙයුම් කමිටුව අඛණ්ඩව එම කටයුතු සොයා බලමින් අවශ්‍ය සම්බන්ධීකරණ කටයුතු සිදුකළ යුතු බවට ද උපදෙස් දුන්නේය.

එක් ප‍්‍රතිපත්තියක, එක් අරමුණක පිහිටා මෙම ජාතික වැඩසටහන කි‍්‍රයාත්මක කළයුතු බවද අවධාරණය කළ ජනාධිපතිතුමා රටේ දරිද්‍රතා දර්ශකය අඩු මට්ටමකට ගෙන ඒමින් දිළිදුබවින් පෙළෙන ජනතාවගේ ජීවන මට්ටම උසස් තත්ත්වකට ගෙන ඒම සඳහා මෙම වැඩසටහන සාර්ථකව කි‍්‍රයාත්මක කිරීමේ අවශ්‍යතාවය ද අවධාරණය කළේය.

මෙහි මූලික කටයුතු පිළිබඳ තවත් සාකච්ඡාවක් ජනාධිපතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් ලබන මසදී පැවැත්වෙයි.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.