• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

ආසියානු රදගුරු සම්මේලන නියෝජිතයෝ ජනපති හමුවෙති

President 2016.12.01ශතවර්ෂ ගණනාවක් පුරා එකිනෙකාගේ මතයන්ට, සංස්කෘතීන්ට හා චාරිත‍්‍ර වලට ගරු කරන සහජීවන පරිසරයක් සහිත ශ‍්‍රී ලංකාවේ, 11 වන ආසියානු රදගුරු සම්මේලනය පැවැත්වීම සතුටට කරුණක් බව ජනාධිපති ගරු මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා පැවසීය.

නොවැම්බර් මස 28 සිට දෙසැම්බර් 04 දක්වා මීගමුවේ පැවැත්වෙන 11 වන ආසියානු රදගුරු සම්මේලනයට සහභාගී වන කාදිනල්වරුන් ප‍්‍රමුඛ විදේශීය නියෝජිතයින් සහ ජනාධිපති ගරු මෛත‍්‍රීපාල සිිරිසේන මැතිතුමා අතර ඊයේ (30) පස්වරුවේ කොටුව ජනාධිපති මන්දිරයේදී පැවති සුහද හමුවේදී ජනාධිපතිතුමා මේ බව අවධාරණය කළේය.

ආසියානු රදගුරු සමුළුවේ වර්තමාන සභාපතීත්වය දරන His Eminence Oswald Cardinal Gracias අගරදගුරුතුමා සහ ශුද්ධෝත්තම ෆැන්සිස් පාප් වහන්සේ නියෝජනය කරමින් Archbishop Pierri Nquyen Van Tot අගරදගුරුතුමා ද ශ‍්‍රී ලංකාව නියෝජනය කරමින් අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරුතුමා ද මෙම හමුවට එක්ව සිටියහ.

ආසියානු රටවල් 17 ක් නියෝජනය කරමින් කාදිනල්වරුන් සහ කැනඩාව, ස්පාඤ්ඤය, පෝලන්තය, ප‍්‍රංශය, ඉතාලිය හා ඇමරිකා එක්සත් ජනපදය නියෝජනය කරමින් විදේශීය නියෝජිතයින් 140 කට ආසන්න පිරිසක් ජනාධිපතිතුමා සමඟ මේ අවස්ථාවට සහභාගී වූහ.කොටුව ජනාධිපති මන්දිරය වෙත පැමිණි එම නියෝජිත පිරිස සුහදශීලී ලෙස පිළිගත් ජනාධිපතිතුමා ඔවුන් සමඟ පිළිසඳරක ද නිරත විය.

දිළිඳුකම තුරන්කිරීමට කතෝලික පල්ලිය හරහා සිදුවන සුවිශේෂී දායකත්වය මෙහිදී ඇගයීමට ලක් කළ ජනාධිපතිතුමා දුෂ්කරතාවලට මුහුණ පෑ අවස්ථාවලදී තමාට මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරුතුමා ලබාදුන් අවවාද අනුශාසනාවලට කෘතඥතාවය පළකිරීමට ද මෙය අවස්ථාවක් කර ගත්තේය. ශ‍්‍රී ලංකාවේ කුමන දිශාවකට ගමන් කළ ද සියලු ආගම් නියෝජනය වන පූජනීය ස්ථාන දැක ගත හැකි බවත් සමුළුවට පසු ලැබෙන විවේකය තුළ ශ‍්‍රී ලංකාවේ සංචාරය කර සොබා සෞන්දර්යයේ අසිරිය විඳගන්නා ලෙසත් ජනාධිපතිතුමා ආගමික නියෝජිත පිරිසට ආරාධනා කළේය.

මෙම හමුවේදී ශ‍්‍රී ලාංකීය සංස්කෘතිය විදහා දැක්වෙන සංස්කෘතික ප‍්‍රසංගයක් ද පැවැත්වුණ අතර මෙම අවස්ථාව සනිටුහන් කරමින් ජනාධිපතිතුමා විසින් නියෝජිත පිරිස වෙත සමරු තිළිණ ද ප‍්‍රදානය කළේය.මෙම අවස්ථාවට කතානායක කරු ජයසූරිය, අමාත්‍යවරුන් වන රවී කරුණානායක, ජෝන් අමරතුංග, නිමල් සිරිපාල ද සිල්වා, එස්.බී. නාවින්න, නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක යන මහත්වරුන් ඇතුළු පිරිසක් ද එක්ව සිටියහ.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.