• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය කලාපයට අනුපූරණයක්

PMශ්‍රී ලංකාවේ අනාගත ආර්ථික වර්ධනය කලාපයේ කිසිදු රටකට තර්ජනයක් නොව, අනුපූරණයක් පමණක් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.

‘ද ඉකොනොමිස්ට්’ සඟරාව සංවිධානය කළ ‘2017 වසරේදී ලෝකය’ නම් වූ විශේෂ සම්මන්ත්‍රණයේ මුඛ්‍ය සාකච්ඡාවට සහභාගී වෙමින් වික්‍රමසිංහ මේ බව සඳහන් කළේය.

උපාය මාර්ගික වයෙන් ඉන්දීය සාගරයේ ඉතා වැදගත් ස්ථානයක පිහිටා ඇති ශ්‍රී ලංකාව වැනි කුඩා රටක ආර්ථිකය නගා සිටුවීමේදී කලාපීය සහයෝගීතාවය වැදගත් ස්ථානයක් ගන්නා බවත් එහෙයින් කලාපයේ සෑම රටක් සමගම සහයෝගය සහ මිත්‍රත්වය පෙරදැරිව, ඒ ඒ රටවල ආර්ථික වර්ධනය සඳහා අනුපූරණය සපයමින්, ශ්‍රී ලාංකේය ආර්ථිකය ඉහළ නැවීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සම්මුතිවාදී ආණ්ඩුවේ අරමුණ බවද වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේය.

‘ද ඉකොනොමිස්ට්’ සඟරාව සංවිධානය කළ ‘2017 වසරේදී ලෝකය’ කතිකාවේ හොංකොං සම්මන්ත්‍රණය ඊයේ (01) හොංකොං නුවර ජේ. ඩබ්ලිව් මැරියට් හෝටලයේදී පැවති අතර, ලෝකයේ ප්‍රකට අර්ථ ශාස්ත්‍රඥයෝ, විද්වත්හු, ව්‍යවසායකයින් හා සමාජ නායකයෝ ඊට සහභාගී වූහ.

සම්න්ත්‍රණය සඳහා පැමිණි වික්‍රමසිංහ මහතා පිළිගන්නා ලද්දේ ‘ද ඉකොනොමිස්ට්’ සඟරාවේ විධායක සංස්කාරක ඩැනියෙල් ෆ්‍රෑන්ක්ලින් මහතා ප්‍රමුඛ සංවිධායක මණ්ඩලය විසිනි.

ඉන් අනතුරුව විශේෂ අමුත්තන්ගේ කුටිය වෙත කැඳවා ගෙන යනු ලැබූ ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයා වෙත, මෙවර සමුළුවේ ප්‍රවණතාවන් හා අරමුණු පිළිබඳව ෆ්‍රෑන්ක්ලින් මහතා විසින් කරුණු පැහැදිලි කරන ලදී.

‘ද ඉකොනොමිස්ට්’ සඟරාවේ විශේෂ අමුත්තන්ගේ පොතෙහි විශේෂ සටහනක් තැබූ වික්‍රමසිංහ මහතා, සඟරාවේ ඉසව් රේඩියෝව වෙනුවෙන් එහි ප්‍රධාන සංස්කාරිකා මැක් එල්රෝයි මහත්මිය සමග කෙටි අදහස් දැක්වීමකටද එක් විය.

සමුළුව පැවැත්වෙන මැරියට් ග්‍රෑන්ඩ් බෝල්රූම් ශාලාව වෙත වික්‍රමසිංහ මහතා කැඳවාගෙන එනු ලැබූයේ ඉන් අනතුරුවය.

චීනයේ ප්‍රකටතම ප්‍රවාහන ව්‍යවසායකයා වන තිතී චෂිං ආයතනයේ සභාපතිනි ජීන් ලියු මහත්මිය මුලින්ම සභාව අමතමින්, තාක්‍ෂණය තුළ 2017 වසර නිර්මාණය වීම පිළිබඳව අදහස් පළ කළාය. දැනට රියැදුරුන් මිලියන 15 ක් තම ආයතනය තුළ සේවය කරන බවත්, පාරිභෝගික අවශ්‍යතා අනුව ආර්ථික, පාරිසරික හා තාක්‍ෂණ පරිවර්තනයකට තම සේවාවන් ලක් කරමින් සිටින බවත් ඇය පෙන්වා දුන්නාය.

එක් දිනකට තම ආයතනය ගමන් වාර මිලියන 20 ක යෙදෙන බව පැවසූ ලියු මහත්මිය, නව තාක්‍ෂණ ප්‍රවණතා පදනම් කරගනිම්න්, තම ආයතනයේ සේවය චීන මහා ගොඩබිමෙන් ඔබ්බට ගෙන යාමට ද සැලසුම් කර ඇති බව අවධාරණය කළාය.

සමුළුවේ මුඛ්‍ය සාකච්ඡාව ඇරඹුණේ ඉන් අනතුරුවය. ‘ද ඉකොනොමිස්ට්’ සඟරාවේ විධායක සංස්කාරක ඩැනියෙල් ෆ්‍රෑන්ක්ලින් මහතා විසින් එය මෙහෙයවන ලද අතර, යුද්ධයෙන් පීඩාවට පත් ජාතියක් ආර්ථික හා සමාජයීය වශයෙන් ලබමින් ඇති ධනාත්මක වර්ධනය, ශ්‍රී ලංකාවේ අනාගත ආර්ථික සැලසුම්, කලාපීය හා ගෝලීය ප්‍රවණතා ආදිය පිළිබඳවත්, 2017 වසරේ ශ්‍රී ලංකාව, ආසියාව සහ ලෝකය සම්බන්ධව වික්‍රමසිංහ මහතාගේ පුරෝනථනයන් පිළිබඳවත් මේ සාකච්ඡාවේදී ප්‍රශ්න කෙරිණි.

එහිදී වික්‍රමසිංහ මහතා කියා සිටියේ ශ්‍රී ලංකාව සතු වඩාත් වැදගත්ම ශක්තිය එහි භඣගෝලීය පිහිටීම සහ මිනිස් සම්පත බවය. මේ ශක්තීන්ගෙන් උපරිම ප්‍රයෝජන ලබා ගැනීම උදෙසා අවශ්‍ය පසුබිම දැන් සකස් කරමින් පවතින බවද අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නේය.


ශ්‍රී ලංකාවේ අස්ථාවරව තිබූ දේශපාලන පසුබිම 2015 ජනවාරි 08 වන දා මැතිවරණයෙන් පසු ස්ථාවරත්වයට පත්ව ඇති බවද, 2017 අවසානය වන විට දේශයේ ප්‍රගමනය සඳහා අවශ්‍ය දේශපාලන හා පරිපාලන ප්‍රතිසංස්කරණයන් සිදු කරන බවද වික්‍රමසිංහ මහතා පැවසීය.

අපනයන අභිමුඛ ආර්ථික වර්ධනය මගින් ශ්‍රී ලංකාව ඉන්දීය සාගරයේ ප්‍රබල ආර්ථික කේන්ද්‍රස්ථානයක් බවට කරලීම සඳහා කලාපයේ විවිධ රටවල් සමග පහසුවෙන් සම්බන්ධ වීමට ජාත්‍යන්තර ගුවන් තොටුපොල දෙකක සහ වරාය තුනක සංවර්ධන කාර්යයන් දැනටමත් ආරම්භ කර ඇති බවද වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේය.

චීනය, ඉන්දියාව ඇතුළු රටවල් සමග නිදහස් වෙළඳ ගිවිසුම් ඇති කරගැනීම මගින් ශ්‍රී ලංකාවේ නිෂ්පාදනවලට වෙනත් රටවල පවතින වෙළඳපොළ පුළුල් කිරීමට කටයුතු කරන බව පෙන්වා දුන් වික්‍රමසිංහ මහතා අහිමි වූ ජී එස් පී සහනය යළි ලබා ගැනීම සඳහා යුරෝපා සංගමය සමග අඛණ්ඩව සාකච්ඡා පවත්වමින් සිටින බවද පෙන්වා දුන්නේය. මේ සියළු කාර්යයන් මගින් පුළුල් ජාත්‍යන්තර වෙළඳ පොළක් විවර කර ගැනීමේ අවකාශ ශ්‍රී ලංකාවට ලැබෙන බවද අගමැතිවරයා පැවසීය.

සභාවෙන් නැගුණු ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් වික්‍රමසිංහ මහතා කියා සිටියේ ආර්ථික සංවර්ධනයට සමගාමීව පරිසරය ආරක්‍ෂා කිරීම වෙනුවෙන් පුළුල් වැඩපිළිවෙලක් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන බවය. පරිසර කාර්යයන් සියල්ල ක්‍රියාත්මක කෙරෙනුයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා යටතේ බව පෙන්වා දුන් අගමැතිවරයා, පරිසර සංරක්‍ෂණය පිළිබඳ ශ්‍රී ලංකාවේ ආකල්පය සහ සැලකිල්ල ප්‍රදර්ශනය කිරීමට එය කදිම උදාහරණයක් බවද අවධාරණය කළේය.

ප්‍රමාණවත් ආයෝජන සමගිය යහපත් හා ආරක්‍ෂා සහිත වැඩබිම් සහ නව ව්‍යවසාය ප්‍රවර්ධනය මගින් උසස් හා ඉහළ වැටුප් ලැබෙන රැකියා නිර්මාණය ද මගින් 2020 වන විට රටේ ශ්‍රම බලකාය තුළ කාන්තා සහභාගීත්වය 40% දක්වා ඉහළ නැංවීමට රජය කැපවී සිටින බවද අගමැතිවරයා පැවසීය. ප්‍රාදේශීය සහ පළාත් සභා තුළ කාන්තා නියෝජනය 25% ක් වීම තහවුරු කර ඇති අතර එය පාර්ලිමේන්තුව තුළ කාන්තා නියෝජනය ශක්තිමත් කිරීමට ද බලපානු ඇති බව ද පෙන්වා දුන් වික්‍රමසිංහ මහතා, කාන්තාවන් බලසතු කරලීම සඳහා ශ්‍රී ලංකාව කැපවී ක්‍රියා කරවන බව අවධාරණය කළේය.

මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ, චීනයේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය කරුණාසේන කොඩිතුවක්කු, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් සමන් අතාවුදහෙට්ටි සහ විශේෂ සහායිකා සැන්ඩ්‍රා පෙරේරා යන මහත්ම මහත්මීහු ද ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මේ අවස්ථාවට එක්වූහ.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.