• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

ගැටලු විසඳා ගැනීමට විරෝධතාවලට නොව සාකච්ඡාවලට පැමිණෙන්න.

President meeting 2016.12.02ඕනෑම ගැටලූවක් විසඳා ගැනීමට සාකච්ඡා මාර්ගයට පැමිණෙන ලෙස ජනාධිපතිතුමා සියලු වෘත්තීය සමිති නායකයින්ගෙන් ඉල්ලයි.ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ ඊයේ (01) පස්වරුවේ පාර්ලිමේන්තුවේදී විශේෂ ප‍්‍රකාශයක් සිදු කරමිනි.

සාකච්ඡා මාර්ගයෙන් ඕනෑම ප‍්‍රශ්නයක් විසඳීම ප‍්‍රජාතන්ත‍්‍රවාදී රජයක් ලෙස වත්මන් රජයේ ප‍්‍රතිපත්තිය බව පැවසු ජනාධිපතිතුමා ගැටලු මතුව ඇත්නම් අදාළ විෂය භාර අමාත්‍යවරයා සමඟ සාකච්ඡා කරන ලෙස තමා වෘත්තීය සමිති නායකයින්ට ගෞරවයෙන් ආරාධනා කරන බවත් එහිදී විසඳුම් නොලැබෙන්නේනම් අමාත්‍යවරුන් කිහිප දෙනෙකුගෙන් සමන්විත විශේෂ කමිටු පත් කර ඒම ගැටලූ විසදීමට කටයුතු කරන බවත්, එහිදීත් විසඳුම් නොලැබෙන්නේනම් අවසානයේ ඊට මැදිහත්වීමට තමා සුදානම් බවත් ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේය.

වැඩ වර්ජන සහ මාර්ග අවහිරකර පැය ගණන් පවත්වන විරෝධතා ව්‍යාපාර තුළින් පීඩාවට පත්වන්නේ අහිංසක දුගී දුප්පත් ජනතාව මිස සුඛෝපභෝගී ජීවිත ගතකරන ධනපති පන්තිය නොවන බව ද ජනාධිපතිතුමා මෙහිදී පෙන්වා දුන්නේය. ජාතික ඒකාබද්ධතා සහ ප‍්‍රතිසන්ධාන අමාත්‍යාංශයේ වැය ශීර්ෂය ඊයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු අතර, විෂය භාර අමාත්‍යවරයා ලෙස එම අය වැය විවාදයට එක් වෙමින් ජනාධිපතිතුමා මෙම ප‍්‍රකාශය සිදු කළේය.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිතුමා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේ රට තුළ ගෙන යන සංහිඳියා වැඩපිළිවෙළ සහ නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව පිළිබඳ ව අපහාසයෙන් උපහාසයෙන් කථා කරන සියලුදෙනාට අවශ්‍යව ඇත්තේ අනාගතයේ රට තුළ යළි ලේ වැගිරීමක් දැකීම බවයි. අනාගත බලය පිළිබඳ බලාපොරොත්තු තබා සංහිඳියා වැඩපිළිවෙළ කඩාකප්පල්කරනවානම් අනාගතයේ පාලනයක් ගෙන යාමට ඔවුන්ට නොහැකි වන අතර එම සියලුදෙනා අනාගතයේ රට තුළ ඇතිවන තත්ත්වයන් පිළිබඳ වගකිව යුතු බව ද ජනාධිපතිතුමා අවධාරණය කළේය.

පක්ෂ පාට, ජාති, ආගම් සහ පළාත් භේදයෙන් කටයුතු කරමින් ජනවාර්ගික ගැටලුවට විසඳුම් සෙවිය නොහැකි බව ද ප‍්‍රකාශ කළ ජනාධිපතිතුමා මෙම ගැටලුව පිළිබඳ කථා කරන සෑම කෙනෙක්ම ඊට විසඳුම් ලබා ගැනීමට ද නම්‍යශීලි විය යුතු බවත් ඒ සඳහා අවශ්‍යව ඇත්තේ දේශපාලන වීරයින් නොව සැබෑ ලෙසම ප‍්‍රශ්නයට විසඳුම් සෙවිය හැකි නායකයින් බවත් කියා සිටියේය.බලයේ සිටින විට එක් ආකාරයකටත්, බලය නොමැති විට බලයට ඒම සඳහා තවත් ආකාරයකටත් මෙම ප‍්‍රශ්නය භාවිතා කරන්නේ නම් එය ජාතියේ අවාසනාවක් බව ද පැවසූ ජනාධිපතිතුමා රට වෙනුවෙන් මෙම ප‍්‍රශ්නය සඳහා එක මේසයක වාඩි වී වට මේස සාකච්ඡාවක් පවත්වා එකඟතාවයකට පැමිණෙන ලෙස තමා සියලුදෙනාගෙන් ඉල්ලා සිටින බවත් ප‍්‍රකාශ කළේය.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.