• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

පරීක්ෂණවලට බාධා කරන පුද්ගලයින්ගේ නම් හෙළි කරනවා - අමාත්‍ය රාජිත

Health ministry event 2016.12.07මහා පරිමාණ දුෂණ වංචා සෙවීමේ පරීක්ෂණවලට බාධා කරන පුද්ගලයින්ගේ නම් ඉදිරියේ දී හෙළි කරන බවත් මේ පිළිබඳ ව තමන් අමාත්‍ය මණ්ඩලය ද දැනුවත් කළ බවත් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

 

දුප්පත් දරුවන් 600 කට පාසල් උපකරණ ඛෙදාදීම සඳහා අලුත්ගම දර්ගා නගරයේ සහිරා විද්‍යාලයේ පසුගියදා පැවැති උත්සවයේ දී සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ කළමණාකාර අධ්‍යක්ෂ ආචාර්ය එච්.එම්.එම් රූමි මහතාගේ පවුලේ පිරිසගේ මූල්‍ය ප්‍රතිපාදන මත මෙම පාසල් උපකරණ ඛෙදා දීම සිදු කරන ලදි.

මුස්ලිම් ජනතාව පෙර කාලයේ අධ්‍යාපනය හැදෑරීමට වඩා වෙළෙදාමට ඉතාම දක්ෂ බවත් නමුත් මෙම සත් කාර්යයට දායකත්වය දක්වන රූමි මහතාගේ පවුලේ අය ව්‍යාපාරවලට මෙන්ම අධ්‍යාපනයටත් මූලිකත්වය ලබාදුන් බවත් පැවැති ක්‍රමය වෙනස් කිරීමේ සටනට මම සමග දායකත්වය දැක්වූ බවත් පෙන්වා දුන්නේය.

"වර්තමානයේ රැකියා ප්‍රශ්නයක් තිබෙනවා. වෙළෙදපොලට අවශ්‍ය ප්‍රමාණයට කලා උපාධිධාරීන් බිහි වෙනවා. සැළැස්මක් නැහැ. කලා විෂයට දරුවන් යොමු වන්නේ ගම්බද පාසල්වල තාක්ෂණාගාර සහ විද්‍යාගාර පහසුකම් අවම වීම නිසායි. එවිට රැකියා විරහිත උපාධිධාරින් රටට බිහි වෙනවා. පාසලේ දී හෝ කාර්මික අධ්‍යාපනයට යොමු කළ යුතුයි. මම ඉදිකිරීම් හා ඉංජිනේරු අමාත්‍යවරයාව සිටි කාලයේ NVQ ක්‍රමය ඔස්සේ රැකියා අවස්ථා නිර්මාණය කළා. ශ්‍රී ලංකාවේ පවත්වන සාමාන්‍ය පෙළ හෝ උසස් පෙළ විභාගය ලන්ඩන් නුවර පිළිගන්නේ නැහැ. නමුත් NVQ ක්‍රමය මුළු ලෝකයම පිළිගන්නවා.

මෙම ක්‍රමය ලංකාවේ ආරම්භ කර තාක්ෂණ විශ්වවිද්‍යාලයක් පවා ස්ථාපිත කළා. බොහෝ විද්‍යාඥයින්ට කොල කැබැලිවල සුදුසුකම් නැහැ. අධ්‍යාපනය කියන්නේ පොතපතෙන් ලබන සුදුසුකම පමණක් නොවෙයි. එහෙම වුනාම තමයි දේශපාලන පක්ෂවලට බැදිලා සරසවි සිසුන් උද්ඝෝෂණය කරන්නේ. තමන්ට අනාගතයක් තිබේනම් එවැනි උද්ඝෝෂණවලට යන්නේ නැහැ. විශ්වවිද්‍යාලවල මෙම තත්ත්වය උදාවී තිඛෙන්නේ අධ්‍යාපනයේ වැරැද්ද නිසයි. එම නිසයි අපි යහපාලන රජය බිහි කළේ. හැබැයි අපේ රජය යටතේ ද යහපාලනය නොතේරෙන පිරිසකුත් ඉන්නවා" යැයි ද පැවසීය.


මෙම උත්සවයේ දී අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 48ක මිල අඩු කිරීමට ගත් පියවර අගය කරමින් සෞඛ්‍ය අමාත්‍යවරයාට සමරු තිළිණයක් ද ප්‍රදානය කෙරුණි. දර්ගා නගරයේ අඹගහහන්දිය විහාරස්ථානය සංවර්ධනය කිරීම සඳහා මූල්‍ය ප්‍රතිපාදන ද ලබාදෙන ලදි.

මෙම අවස්ථාවට හිටපු පළාත් සභා මන්ත්‍රී එම්.එම්. අම්ජාඩි, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ කළමණාකාර අධ්‍යක්ෂ ආචාර්ය එච්.එම්.එම් රූමි, හිටපු පළාත් සභා මන්ත්‍රී ජයන්ත අබේගුණවර්ධන මහත්වරු ඇතුලු විශාල පිරිසක් එක්ව සිටියහ. 

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.