• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

හම්බන්තොට වරාය වර්ජනය අවසන් - නාවික හමුදාපතිගේ වාර්තාව අගමැතිට

Hambanthota case report handover to PMහම්බන්තොට වරාය වර්ජනය දැන් අවසන් වෙලා බොහෝ දෙනා රැකියාවලට වාර්තා කරලා තිබෙන බව තමාට අමාත්‍යවරයා දැනුම් දුන් බවත් නාවික හමුදාපතිවරයා හම්බන්තොට වරායේ සිදු කළ මෙහෙයුම පිළිබඳ වාර්තාවත් තමාට භාර දුන් බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

 

අරලියගහ මන්දිරයේදී නාවික හමුදාපති ඊයේ (15) හමුවෙන් පසුව අග්‍රාමාත්‍යවරයා මේ සඳහන් කළ අතර එහිදී වැඩිදුරටත් දැක්වූ අදහස් පහත සඳහන් වේ.

"හම්බන්තොට වරාය වර්ජනය දැන් අවසන් වෙලා බොහෝ දෙනා රැකියාවලට වාර්තා කරලා තිබෙන බව මට ඇමතිතුමා දැනුම් දුන්නා. නාවික හමුදාපති තුමා පැමිණිලා හම්බන්තොට වරායේ සිදු කළ මෙහෙයුම පිළිබද වාර්තාවත් මට බාර දුන්නා.

මේ වර්ජනය ආරම්භ කළේ රැකියාව මූලික කරගෙනයි. හම්බන්තොට වරායේ වැඩකටයුතු කරන්නේ වරාය අධිකාරියේ නොවේ. මාගම්පුර වරායේ සේවක කළමනාකාර සමාගම විසින්.  දැන් හම්බන්තොට වරායේ කටයුතු  අලුත් සමාගමකට භාර දෙනවා. ඒ සමාගමේ එක කොටස්කරුවෙකු වන්නේ චයිනා මර්චන්ට් සමාගම. අනෙක් කොටස්කරුවා වන්නේ වරාය අධිකාරියයි.

ඉතින් වරායේ සේවකයින් තමන්ගේ රැකියා පිළිබඳව ප්‍රශ්නයක් මතු කර තිබෙනවා. ඇමතිතුමා ඒ පිළිබඳව සඳහන් කළේ චයිනා මර්චන්ට් සමාගම සමඟ කතා කරන බවයි. කෙසේ හෝ මේ වර්ජනය ඇති වූ පසු විශේෂයෙන්ම මම චමල් මන්ත්‍රිතුමා සමඟත් කතා කළා. චයිනා මර්චන්ට් සමාගමටත් කතා කිරීමෙන් පසු ඒ අය පැවසුවේ වර්තමානයේ පවතින කොන්දේසි මත මේ සියලු දෙනාම අලුත් සමාගමට බඳවා ගන්නා බවයි. 

කෙසේ හෝ මේ පිරිස කොන්දේසි පිළිගත්තේ නැහැ. ඔවුන් පැවසුවේ වරාය අධිකාරියේ පත්වීම් ඔවුන්ට අවශ්‍ය බවයි.  කොළඹ වරායේ ජාතික සේවක සංගමය පැවසුවේ බෙලිඅත්තේ අයට කොළඹ රැකියා දීම වැඩක් නැති වැඩක් බවයි. දැනටත් හම්බන්තොට වරායේ අලාභය ගෙවන්නට සිදුවී ඇත්තේ වරාය අධිකාරියටයි.

මේ සේවකයින් වර්ජනය කරද්දී ජාත්‍යන්තර නැව් දෙකක් බලහත්කාරායෙන් රඳවා ගත්තා. මට  නැව් සමාගම් කතා කර පැවසුවේ එම ස්ථානයේ නැව් සිරවී ඇති බවත්, ඒවා ගෙන්වා ගැනීමට හැකියාවක් නොමැති බවත්. වර්ජකයින් අතින් ඒවාට හානිද සිදුවිය හැකි බවත් ඔවුන් පැවසවා. එමනිසා කරුණාකර එම නැව් ආරක්ෂා කර දෙන ලෙස ඔවුන් ඉල්ලා සිටියා.

පසුගිය කාලයේ හම්බන්තොට වරායට නැව් පැමිණියේ නැති තරම්. නැව් තුන හතරක් ගෙන්වා ගත්තේත් බොහාම ආයාසයෙන්. අනාගතයේ වරායේ දියුණුවත් සමඟ තවදුරටත් නැව් ගෙන්වා ගැනීමට හැකියාව ලැබෙනවා. එවනි පසබිමක නැව් බලහත්කාරයෙන් වරායේ රඳවා ගැනීම රටට අහිතකර බලපෑම් ඇතිකරන තත්ත්වයක්. එම නිසා එම අවස්ථාවේ මම ජනාධිපතිතුමා සමඟත් මේ සම්බන්ධ ව කතා කර ආරක්ෂක ලේකම්තුමා සමඟත් සාකච්ඡා කර නාවික හමුදාපතිතුමාට දැන්වුවා මෙම නැව් සහ වරාය ආරක්ෂා කර දෙන ලෙස.


ජනවාරි 7 වනදා මෙම වරාය අලුත් සමාගමකට භාර දීමට සූදානමින් සිටිනවා. කිසියම් හෝ අලාභයක් සිදුවුවහොත් නැති වන්නේ මේ රටේ අනාගතයයි. ඒ හේතුවෙන් අපට ණය ගෙවා ගැනීමටත් නොහැකි වෙනවා. මීළඟ පරම්පරාවටත් එම ණය ගෙවීමට සිදුවනවා. ඉතින් අපි නාවික හමුදාපති තුමාගෙන් ඉල්ලීම් කළ පසු එතුමා ගිහින් එම වැඩකටයුතු කළා. විශේෂයෙන්ම මෙතුමාගේ වාර්තාවේ ජාත්‍යන්තර ගිවිසුම්වලට අනුව වරායන් ආරක්ෂා කිරීම පිළිබඳව සඳහන් වී තිබෙනවා. එම ජාත්‍යන්තර ගිවිසුම් ක්‍රියාත්මක නොකළහොත් නැව් නැවත මෙම වරායට පැමිණෙන්නේ නැහැ. ඒ අනුව වැඩකටයුතු කරන්නැයි නාවික හමුදාපතිතුමාට පැවසුවා. නාවික හමුදාව එම නැව් ඉවත් කිරීමේදී ප්‍රශ්න තිබුණත් කෙසේ හෝ එම නැව් ඉවත් කළා.

දැන් අපට කේලයින් නැව් සමාගමෙන් ඒ අයට සිදුවී ඇති අලාභය සඳහන් කර ඩොලර් ලක්ෂ හතරක බිලක් එවලා තිබෙනවා. දැන් මෙය ගෙවන්නේ කවුද? අනෙකුත් නැව්ද මෙලෙස සිදුවූ අලාභය ඉල්ලා සිටිය හැකියි. කේලයින් සහ අනෙකුත් නෞකා සමාගම් සඳහා ගත හැකි පියවර කුමක්ද යනුවෙන් සාකච්ඡා කරන ලෙස මම මලික් සමරවික්‍රම ඇමතිතුමාට පැවසුවා. හම්බන්තොට වරාය ප්‍රශ්න තිබෙන වරායක් බවත්,මෙම වරායට පැමිණීමෙන් වැලකිය යුතු බවත් සමහර නැව් සමාගම් අතර කතාබහත් පවතිනවා.  එසේ සිදුවුවහොත් හම්බන්තොට වරාය ජාත්‍යන්තර වරායක් බවට පත් කිරීමට අසන්නව තිබියදී විශාල හානියක් අපට සිදුවෙනවා.


නමුත් චයිනා මර්චන්ට් සමාගම පැවසුවේ කෙසේ හෝ මෙම ගැටලුව විසඳා ගත හැකි බවයි. මෙම බාධක ජය ගැනීමෙන් පසු මෙම වරාය නැව් වලින් පුරවා ජාත්‍යන්තර වරායක් බවට පත් කරන්නට ඔවුන් බලාපොරොත්තු වෙනවා. ඒ නිසා විශේෂයෙන් මේ අවස්ථාවේදී එම වැඩකටයුතු ආරක්ෂා කරන ලෙසත් නාවික හමුදාපතිතුමාට පවසා තිබෙනවා. වරායෙන් බාහිර ආරක්ෂක කටයුතු පොලිසියටත් භාරදී තිබෙනවා.

තංගල්ල පොලිසියට එක් වාර්තාකරුවෙක් පැමිණිල්ලක් දමා තිබෙනවා. නමුත් ඇත්ත වශයෙන්ම මේ පිළිබඳ පැමිණිලි කරනවා නම් පැමිණිලි කළ යුත්තේ හම්බන්තොට පොලිසියටයි. තංගල්ලේ තිබෙන්නේ ධීවර වරායක්. ඒ නිසා නිවැරදි පොලිස් ස්ථානයට ඒ පිළිබඳ පැමිණිලි  කරන ලෙස මා මාධ්‍ය සංගම්වලට පවසන්නට කැමතියි. ඒවගේම මෙය ආරක්ෂක කලාපයක් වන අතර එහි ආරක්ෂක කටයුත්තක් සිදුවූ බවත්, එමනිසා වරායට ඇතුළුවන සියලුම දෙනා අවසර ගත යුතු බවත් මෙම සිද්ධියට අදාළ මාධ්‍යවේදියා අවසර ලබාගෙන නොමැති බවටත් තවත් පැමිණිල්ලක් ලැබි තිබෙනවා. මේ පිළිබඳවත් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

මේ අතරතුර නාවික හමුදාපතිතුමාට නාවික හමුදා කදවුරක් හම්බන්තොට වරාය ආසන්නයේ පිහිටුවන්නට අපි දැනුම් දී තිබෙනවා. චීන සමාගම මෙම කටයුත්ත භාරගන්නා අවස්ථාවේදී හම්බන්තොට වරායේ ආරක්ෂාවට නාවික හමුදා කදවුරක් හම්බන්තොට වරායේ ස්ථිර වශයෙන්ම පිහිටුවන ලෙස ඉල්ලා සිටියා.  නැව් තටාක, එල්එන්ජී, තෙල් පිරිපහදු කිරීමේ ස්ථානයක් ඉදිරියේදි ඇතිවන නිසා එම අවශ්‍යතාවය මතුවී තිබෙනවා. එසේම ගුවන් හමුදා කඳවුරකුත් මත්තල ගුවන්තොටුපල අසබඩ ස්ථානගත කිරීමේ විශේෂ වැඩ පිළිවෙලක් දැනටමත් ක්‍රියාත්මක කර තිබෙනවා.



හම්බන්තොට වරායට හානියක් සිදුවූ අතර අලාභ ගෙවීමටද සිදුව තිබෙනවා. ඒ අවස්ථාවේදී මෙම පිරිසට රැකියා ලබා නොදෙන බව ප්‍රකාශ කිරීමට හැකියාව තිබුණත් එසේ නොකර එම පිරිස  කුමන පක්ෂයේ පිරිසක් වුවත් ඒ අයට හොඳ අනාගතයක් උදා කර දීමට අපි කටයුතු කරනවා. කවුරුන් හෝ හානියක් සිදුකර ඇත්නම් හෝ නීතිය කඩකර ඇත්නම් ඒ පිළිබඳව ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරනවා. මේ අසීරු අවස්ථාවේ නැව් මුදා ගැනීමේ මෙහෙයුම සාර්ථකව ඉටු කිරීම පිළිබඳව අපි නාවික හමුදාපතිටත් , නාවුක හමුදාවටත් ස්තුති කරනවා. "

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.