• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

මේ වසරේ මුල් මාස නවය තුළ රාජ්‍ය ආදායම 23% න් ඉහළ නැංවේ. - මුදල් අමාත්‍ය

Ravikarunanayakeමෙම වසරේ මුල් මාස නවය තුළ රාජ්‍ය ආදායම පසුගිය වසර ට සාපේක්ෂව 23% න් රු.බිලියන 1180 දක්වා වැඩි වී ඇත.

පසුගිය වසරේ මුල් මාස නවය තුළ රාජ්‍ය ආදායම වුයේ රු.බිලියන 959 කි.රාජ්‍ය ආදායම බහුලව එකතු කරන ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව හා සුරාබදු දෙපාර්තමේන්තුවල කාර්යක්ෂමතාවය වැඩි කිරීම හේතුවෙන් මෙම ආදායම් වැඩි කර ගැනීමට අවස්ථාව ලැබී ඇතැයි මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ප්‍රකාශ කළේය.

රාජ්‍ය ආදායමේ වැඩිම ප්‍රතිශතයක් ලැබී ඇත්තේ බදු ආදායම් ලෙසය. වසරේ මුල් මාස නවය තුළ  බදු ආදායම රු.බිලියන 1067 වූ අතර පසුගිය වසරේ මුල් මාස නවය තුළ එය රු. බිලියන 882 ක් විය. මේ අනුව බදු ආදායම 2016 මුල් මාස නවය තුළ 22% න් වැඩි වී ඇත.

පසුගිය වසර කිහිපයක් මුළුල්ලේ සමස්ත රාජ්‍ය ණය වැඩිවීම හේතුවෙන් රාජ්‍ය ආදායම පුනරාවර්තන  වියදම් ආවරණය කර ගැනීමට පවා ප්‍රමාණවත් නොවීය. එහෙත් 2014 වසර වන විට දළ දේශීය නිෂ්පාදිතයෙන් 11% ක් ව තිබූ රාජ්‍ය ආදායම වසර අවසාන වන විට 13.5 % දක්වා වැඩි වනු ඇතැයි පුරෝකථනය කර තිබේ. ඒ අනුව මෙම වසරේ දී රාජ්‍ය ආදායම තුළින් පුනරාවර්තන වියදම ආවරණය කර ගැනීමට හැකි වීම රට සංවර්ධනය කරා යොමු වීමේ ප්‍රතිලාබ ජනතාවට ලැබෙන බවට හොඳ ම සාධකයක් වී ඇතයි මුදල් අමාත්‍යවරයා පැවසීය.2016 ජනවාරි සිට සැප්තැම්බර් දක්වා වූ මාස නවය තුළ රාජ්‍ය ආදායම වැඩි වීමේ ප්‍රතිඵලයක් ලෙස අයවැය හිඟය ද අඩු වී ඇත. පසුගිය වසරේ මාස නවය තුළ රු.බිලියන 573 ක් ව පැවති අයවැය හිඟය මේ වන විට රු.බිලියන 506 දක්වා අඩු වී ඇත.

මෙය රජයේ මූලය විනය හා පරිපාලන ප්‍රති සංස්කරණයේ සාධනීය ප්‍රතිඵල වේ. ඒ අනුව අයවැය හිඟය ඉලක්කගත දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස 5.4 % දක්වා අඩු වනු ඇත.මේ අතර බදු අය කිරීමේ දී සෘජු බදු අය කිරීමේ ක්‍රමවේදය දැනට පවත්නා 20% - 80% යන සෘජු හා වක්‍ර බදු අනුපාතය 40% - 60% අනුපාතය දක්වා වැඩි කිරීම සඳහා රජය කටයුතු කරමින් සිටී. මේ යටතේ බදු අය කිරීමේ දී අතීතයේ දී පැවති බදු මූලධර්ම වලට පටහැනි ක්‍රමවේදයන් ඉවත් කර ඇති අතර බදු පදනම ද පුළුල් කර තිබේ.

මේ අනුව උපයන විට ගෙවීම් බද්ද හෙවත් (PAYE TAX) සඳහා ගෙවිය යුතු ආදායම් පරිමාව මසකට රුපියල් ලක්ෂය දක්වා වැඩි කර ඇති අතර උපයන විට ගෙවීම් බදු පරිමාව සඳහා මෙතෙක් ලබා දී තිබූ නිදහස් කිරීම් සියල්ල මෙම අයවැය මගින් ඉවත් කර ඇත. මෙම උපයන විට ගෙවීම් බද්ද 2017 අප්‍රියල් මස සිට නව ක්‍රමයට අනුගතව ක්‍රියාත්මක කරන බවට මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා පසුගිය දා පාර්ලිමේන්තුවේ දී සඳහන් කළේය.එමෙන්ම රාජ්‍ය වියදම් පරිපාලනය ද නව ක්‍රමවේදය අනුව සාර්ථක වී ඇත.

රේඛීය අමාත්‍යාංශවල 2017 වසරේ ක්‍රියාත්මක කිරීම සඳහා අපේක්ෂිත ව්‍යාපෘති වලට අදාළ ව ලබාදුන්  ක්‍රියාකාරී සැලැස්ම පදනම් කර ගෙන අයවැය මගින් මුදල් වෙන් කරනු ලැබ තිබේ.

සියලු රේඛීය අමාත්‍යාංශ මෙන් ම පළාත් සභාවලට ද 2017 වසර සඳහා මුදල් වෙන් කරනු ලැබ ඇත්තේ ඔවුන් විසින් ඉදිරිපත් කරන ලද ක්‍රියාකාරී සැලැස්ම අනුව විනා පසුගිය වසර වල මෙන් පෙර වසරේ වෙන් කරන ලද මුදලට සාපේක්ෂ මුදලක් මීලඟ වසරේදි ද ලබා දීමේ මෙතෙක් අනුගමනය කරන ලද පදනම් මත නො වීම මෙවර අයවැයේ විශේෂත්වයකි. මෙය 2020 වසර වන විට කාර්ය සාධනය පදනම් කර ගත් අයවැයක් යටතේ මුදල් වෙන් කිරීම ක්‍රියාත්මක කිරීම සඳහා වන ප්‍රායෝගික වැඩ පිළිවෙළක් බව මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා  කියා සිටියේය.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.