• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

හිටපු අගමැති රත්නසිරි වික්‍රමනායක මහතා අභාවප්‍රාප්ත වෙයි

Rathnasiri wickramanayekeහිටපු අග්‍රාමාත්‍යවරයෙකු මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයෙකු වන රත්නසිරි වික්‍රමනායක මහතා ඊයේ (27) පෙරවරුවේ අභාවප්‍රාප්ත විය.

වයස අවුරුදු 83ක්ව සිටි වික්‍රමනායක මහතා රෝගී තත්ත්වයක් මත කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වී ඇත.

2000 සහ 2001 වසරවල චන්ද්‍රිකා බණ්ඩාරනායක රජය සමයේ පළමු වරට අගමැති පදවිය ලද ඒ මහතා 2005 මහින්ද රාජපක්ෂ රජයේ ද අගමැතිවරයා විය.

1933 මැයි 5 වැනිදා උපත ලැබූ වික්‍රමනායක මහතා හොරණ ආසනයෙන් පාර්ලිමේන්තුවට පිවිස ජනප්‍රිය නායකයකු ද විය. වික්‍රමනායක මහතා හොරණ මිල්ලෑව ප්‍රාථමික විද්‍යාලය, පන්නිපිටිය ධර්මපාල විදුහල, පේදුරුතුඩුවේ හාට්ලි විදුහලේ සහ කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදි සිසුවෙකි.


බැරිස්ටර්වරයකු වීම සඳහා එංගලන්තයේ ලින්කන් ඉන් නීති විද්‍යාලයට පැමිණි ඔහු නීති විභාගයට පෙනී සිටීමට වඩා දේශපාලනයට ඇදී ගියේය. එංගලන්තයේ සිට 1955 දී ඔහු ශ්‍රී ලංකා ශිෂ්‍ය සංගමයේ සභාපති විය. ඔහුගේ වැඩිමල් සොයුරු මුනිදාසගේ අභාවයෙන් පසු ශ්‍රී ලංකාවට පැමිණි වික්‍රමනායක මහතා මුලින්ම බස්නාහිර පළාත් සභාවෙන් දේශපාලනයට පිවිසියේය.

බැරිස්ටර් විභාගයට පෙනී සිටීමට ඔහුට නොහැකි විය. 1960 දී ලංකා සමසමාජ පක්ෂයෙන් ඔහු පාර්ලිමේන්තුවට පිවිසියේය. ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට පැමිණියේ 1962 දීය. 1965 දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් හොරණ නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරී පත්විය. පාර්ලිමේන්තු මන්ත්‍රී විදුර වික්‍රමනායක ඔහුගේ පුත්‍රයෙකි.

වික්‍රමනායක මහතා මුලින්ම ඇමැතිවරයකු වූයේ 1970 දීය. ඒ මහතා සිරිමාවෝ බණ්ඩාරනායක රජයේ අධිකරණ නියෝජ්‍ය ඇමැති වූයේ 1970දීය. 1975 දී වැවිලි කර්මාන්ත ඇමැති ලෙසද 1976 දී අධිකරණ ඇමැති ලෙසද කටයුතු කළේය. පසුකාලීනව ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උපසභාපතිවරයෙක් ද විය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පුරෝගාමීන් සමඟ ක්‍රියා කළ ඔහු මහජන එක්සත් පෙරමුණේ හිටපු නායක පිලිප් ගුණවර්ධන මහතාගේ අනුගාමිකයෙක් ද විය. 1960-70 කාලයේ මහජන එක්සත් පෙරමුණු වේදිකාවේ ඔහු ජනප්‍රියම කථිකයකු විය.

1977 දී හොරණ ආසනය පරාජය විය. 1978 දී ඔහු ශ්‍රීලනිප ලේකම්වරයා විය. චන්ද්‍රිකා කුමාරතුංග රජයේත් මහින්ද රාජපක්ෂ රජයේත් ඇමැති හා අගමැති පදවි දැරූ වික්‍රමනායක මහතා වරක් රාජ්‍ය පරිපාලන ඇමැතිවරයා ද විය. 1993/94  චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය බස්නාහිර මහ ඇමැති සමයේ ඔහු පළාත් සභා ඇමැතිවරයෙක් විය.

ඔහු හැබෑ ගැමියකු විය. හොරණ බොහෝ දෙනා නමින්ම හඳුනාගෙන සිටි ඔහු ආසනයේ ජනප්‍රියම පුද්ගලයෙකි. වික්‍රමනායක මහතා සිංහල, දෙමළ හා ඉංග්‍රීසි භාෂා පිළිබඳ ප්‍රවීණයෙක් ද විය.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.