• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

සෞඛ්‍ය ඇමැතිගේ මැදිහත්වීමෙන් උතුරු මැද සෞඛ්‍ය වැඩවර්ජනය අවසන්

Health Ministryසෞඛ්‍ය රියදුරු සේවය ස්ථාපිත නොකළ පළාත් සභාවල සෞඛ්‍ය රියදුරු සේවය ස්ථාපිත කරන ලෙස බල කරමින් උතුරු මැද පළාතේ සෞඛ්‍ය රියදුරන් ආරම්භ කර තිබූ වැඩවර්ජනය සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ මැදිහත්වීමෙන් ඊයේ (28) පස්වරුවේ අවසන් විය.

 

සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවැති විශේෂ සාකච්ඡාවක දී සෞඛ්‍ය අමාත්‍යවරයා මේ පිළිබඳ ව උතුරු මැද පළාත් සෞඛ්‍ය අමාත්‍යවරයා සමග දුරකථනයෙන් සාකච්ඡා කරන ලදි. ඉන් පසු කළමණාකරන සේවා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාට දුරකථනයෙන්  කථා කළ සෞඛ්‍ය අමාත්‍යවරයා සෞඛ්‍ය රියදුරු සේවයේ ස්ථාපිත නොකළ පළාත් සභාවල සෞඛ්‍ය රියදුරු සේවය ස්ථාපිත කිරීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස උපදෙස් ලබාදෙන ලදි. මෙතෙක් එම ගැටලු ව පැවතුනේ උතුරු මැද පළාත් සභාවේ පමණි.

කළමණාකරන සේවා දෙපාර්තමේන්තුව අනෙකුත් පළාත් සභාවලට එම චක්‍රලේඛය නිසි පරිදි යොමු කර තිබුණි. එම නිසා පොදුවේ සියලු ම පළාත් සභාවලට චක්‍ර ලේඛයක් නිකුත් කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා කළමණාකරන සේවා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාට දැනුම් දෙන ලදි. ඒ අනුව සාකච්ඡාවට සහභාගි වී සිටි රාජ්‍ය සේවා ජාතික සෞඛ්‍ය සේවා සංගමයේ නියෝජිතයින් උතුරු මැද පළාතේ වර්ජනයේ නියුතු තම සාමාජිකයින්ට දැනුම් දෙන ලද්දේ වර්ජනය අත්හිටුවන ලෙසයි.

වර්ජනයේ  නිරත සමස්ත ලංකා පළාත් සෞඛ්‍ය සේවා රියදුරු සංගමයේ ප්‍රධාන ලේකම් අමරනන්ද වඩුගේ මහතා දුරකථනය ඔස්සේ සම්බන්ධ කර ගත් සෞඛ්‍ය අමාත්‍යවරයා සාකච්ඡා කළ කරුණු පිළිබඳ ව දැනුවත් කර වර්ජනය අත්හිටුවන ලෙස ඉල්ලා සිටියේය.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාව සඳහා සෞඛ්‍ය ලේකම් අනුර ජයවික්‍රම, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල, අතිරේක ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත, උතුරු මැද පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ පාලිත බණ්ඩාර යන මහත්වරු ඇතුලු අමාත්‍යාංශ නිලධාරින් රැසක් එක්ව සිටියහ. 

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.