• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

විල්පත්තුව අභය භූමියට අයත් ප‍්‍රදේශය තවදුරටත් පුළුල් කරමින් වනජීවි කලාපයක් ප‍්‍රකාශයට පත්කර ගැසට් කිරීමට ජනපතිගෙන් උපදෙස්

heවිල්පත්තුව ඇතුළු සියලු වනාන්තර නවීන තාක්ෂණය භාවිත කරමින් ගුවනේ සිට අඛණ්ඩව නිරීක්ෂණය කළ හැකි කඩිනම් වැඩපිළිවෙළක්
විල්පත්තුව අභය භූමියට අයත් වන ප‍්‍රදේශය තවදුරටත් පුළුල් කරමින් දැනට වන ජීවි දෙපාර්තමේන්තුවට අයත් නොවන ඒ ආශ‍්‍රිත සියලු ම වන බිම් ද ඇතුළත් වන ආකාරයට වනජීවි කලාපයක් ප‍්‍රකාශයට පත් කර ගැසට් කරන ලෙස ජනාධිපතිතුමා අදාළ අංශවලට උපදෙස් දෙයි.

එමෙන්ම විල්පත්තුව ඇතුළු සියලු වනාන්තර නවීන තාක්ෂණය භාවිතා කරමින් ගුවනේ සිට නිරන්තරයෙන්ම නිරීක්ෂණය කළ හැකි වැඩපිළිවෙළක් කඩිනමින් කි‍්‍රයාවට නැංවීමට ද ජනාධිපතිතුමා උපදෙස් දුන්නේය.

පරිසර අමාත්‍යාංශයට අයත් ආයතන ප‍්‍රධානීන් සමඟ ඊයේ (30) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති විශේෂ සාකච්ඡාවක දී ජනාධිපතිතුමා මෙම උපදෙස් ලබා දෙනු ලැබීය.

කුමන අයුරකින් හෝ සිදු කෙරෙන වනාන්තර හෙළි කිරීම්වලට අදාළ ව තරාතිරම නොබලා නීතිය කි‍්‍රයාත්මක කරන ලෙස මෙහිදී නිලධාරින්ට උපදෙස් දුන් ජනාධිපතිතුමා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේ වනාන්තර හෙළි කිරීම් සහ කැලෑ කැපීම්වලට එරෙහිව දැනට පවතින නීතිය තුළ ඇති දඩ මුදල හා සිර දඬුවම පූර්ණ ලෙස කි‍්‍රයාත්මක කරන ලෙස තමා අධිකරණ සේවා කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් සිදු කරන බවයි.

මන්නාරම සහ පුත්තලම දිස්ති‍්‍රක්ක තුළ සිදුවන බව පැවසෙන වන විනාශයන් පිළිබඳ ඇතැම් පාර්ශව එල්ල කරන චෝදනා පරීක්ෂා කර වාර්තාවක් ලබාදී ම සඳහා විශේෂ නිරීක්ෂණ කණ්ඩායමක් යොදවන ලෙස ද ජනාධිපතිතුමා මෙහිදී නිලධාරින්ට උපදෙස් දුන්නේය.

පරිසර අමාත්‍යාංශයේ, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සහ වන ජීවි දෙපාර්තමේන්තුවේ නිලධාරින්, පරිසර සංවිධාන නියෝජිතයන් මෙන්ම ජනමාධ්‍යවේදින් ද මෙම නිරික්ෂණ කණ්ඩායමට ඇතුළත් විය යුතු බව ජනාධිපතිතුමා සඳහන් කළේය.

මෙහිදී නිලධාරින් ජනාධිපතිතුමා වෙත පෙන්වා දුන්නේ විල්පත්තුව අභයභූමිය තුළ කිසිදු පරිසර විනාශයක් සිදුනොවන බවයි. ඇතැම් ජනමාධ්‍ය සහ පරිසර සංවිධාන පෙන්වා දෙන සිදුවීම් විලපත්තුව අභය භූමි කලාපයෙන් පිටත ප‍්‍රදේශවල සිදු වූ සිදුවීම් බවත් එම ප‍්‍රදේශවල නැවත පදිංචි කිරීම් කටයුතු සඳහා අවසර ලබාදී ඇත්තේ පසුගිය රජයේ පාලන සමයට අයත් 2007 වර්ෂයේ දී බවත් මෙහිදී අනාවරණය කෙරිණි.

එම ප‍්‍රදේශවල වුවද නීති විරෝධි අන්දමින් වන විනාශයන් සිදුකරනවා නම් ඊට එරෙහිව නීතිය උපරිම අන්දමින් කි‍්‍රයාත්මක කරන ලෙස මෙහිදී නිලධාරින්ට උපදෙස් දුන් ජනාධිපතිතුමා නැවත පදිංචි කිරීම් කටයුතු සඳහා අලුතෙන් ඉඩම් වෙන් කිරීමේදී වනාන්තර ප‍්‍රදේශ වලින් දුරස් වූ ඉඩම් ඒ සඳහා යොදා ගැනීමටත්, එම ඉඩම් හඳුනා ගැනීමට විශේෂ වැඩපිළිවෙළක් සකස් කරන ලෙසත් උපදෙස් දුන්නේය.


මන්නාරම, මුසලි ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ සිදු වූ කැලෑ කැපීමකට අදාළව සිදු කළ වැටලීමකදී බැකෝ යන්ත‍්‍රයක් ඇතුළු උපකරණ කිහිපයක් ද සමඟ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන නීතිමය පියවර ගැනීමට පසුගියදා කටයුතු කළ බවද නිලධාරින් පෙන්වා දුන්හ.

ජනාධිපති ලේකම් පී.බී. අබේකෝන්, පරිසර අමාත්‍යාංශයේ ලේකම් උදය ආර්. සෙනෙවිරත්න, තිරසර සංවර්ධන හා වන ජීවි අමාත්‍යාංශයේ ලේකම් ආර්.එම්.ඞී.බී. මීගස්මුල්ල, අතිරේක ලේකම් එල්.ජේ.එම්.ජී.සී. බණ්ඩාර, මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් කේ.එච්. මුතුකුඩආරච්චි, වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ මංජුල අමරරත්න යන මහත්වරුන් ඇතුළු නිලධාරින් පිරිසක් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.