• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

හම්බන්තොට වරාය සහ කර්මාන්තපුරය පිළිබඳව ගෙන යන ප‍්‍රචාර අසත්‍ය බව ජනපති පවසයි

He presidentහම්බන්තොට වරාය සහ කර්මාන්තපුරය සම්බන්ධයෙන් කිසිදු ගිවිසුමක් රජය මෙතෙක් සම්පාදනය කර නොමැති අතර ඒ පිළිබඳ කිසිදු කමිටු වාර්තාවක් ද එළිදක්වා නොමැති බව ජනාධිපතිතුමා පවසයි.

රටේ උරුමයට සහ ගෞරවයට හානිවන ලෙස හෝ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට පටහැනි අයුරින් රජය කිසිදු විදේශ රටක් හෝ ආයතනයක් සමග ගිවිසුමක් ඇතිකර නොගන්නා අතර යම් රටක් හෝ ආයතනයක් සමග ගිවිසුමකට එළැඹෙන්නේ නම් ඒ ඉතා විවෘත භාවයකින් බවත් අදාළ ගිවිසුම්වල මූලික කටයුතු සම්පාදනය කිරීමෙන් අනතුරුව එය නීතිපතිවරයාට, අමාත්‍ය මණ්ඩලයට මෙන්ම පාර්ලිමේන්තුවට ද ඉදිරිපත් කරන බවත් ජනාධිපතිතුමා පැවසීය.

ජානධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ ශී‍්‍ර ලංකා ගුවන් විදුලි සංස්ථාවේ 50 වන සංවත්සර උත්සවයට අද (05) පස්වරුවේ එක් වෙමිනි .වසර දෙකකට පෙර රටේ ජනතාව මේ රටේ ප‍්‍රධාන සේවකයා ලෙස තමා තෝරා පත්කර ගත්තේ තමා කෙරෙහි දැඩි විශ්වාසයක් තබමින් බව පැවසූ ජනාධිපතිතුමා එම විශ්වාසය කඩවීමට කිසිදු අවස්ථාවක ඉඩ නොතබන බව ද අවධාරණය කළේය.

2017 වසරේ නව වැඩපිළිවෙළක් ඔස්සේ රට ගොඩනැගීමට අධිෂ්ඨානශීලීව සහ පරිත්‍යාගශීලීව රජය ඉදිරියට යන විට ඊට බොහෝ විවේචන එල්ල කරමින් ආණ්ඩුව පෙරළීමට ඇතැමුන් උත්සාහ දරන බවත් 2020 වසරේ ජනතා කැමැත්තෙන් මිස නීති විරෝධී සහ ව්‍යවස්ථා විරෝධී අයුරින් ආණ්ඩුව පෙරළීමට කිසිවෙකුට ඉඩ නොදෙන බවත් ජනාධිපතිතුමා පැවසීය.කුමන දේශපාලන පක්ෂයක වේවා ආණ්ඩුවක් බලයට පත්වූ විට එම ආණ්ඩුවට නිදහසේ සිය කටයුතු කරගෙන යාමට ඉඩදීම රටට ආදරය කරන සියලුදෙනාගේ වගකීමක් වන අතර බලය පිළිබඳ තිබෙන කෑදරකම හා පටු දේශපාලන අවශ්‍යතා උදෙසා කටයුතු කිරීමට නැවත වාරයක් ඉඩ නොමැති බව ද ජනාධිපතිතුමා අවධාරණය කළේය.එබැවින් 2017 නව වසර තුළදී අසත්‍ය ප‍්‍රචාරවලින් වැළකී, සාධාරණ විවේචන ඉදිරිපත් කර රට සහ රටේ ජනතාව වෙනුවෙන් රට ගොඩනැගීමට එක්වන ලෙස තමා සියලුදෙනාගෙන් ඉල්ලා සිටින බව ද ජනාධිපතිතුමා පැවසීය.

ශී‍්‍ර ලංකා ගුවන් විදුලි සංස්ථාවේ නව පරිපාලන ගොඩනැගිල්ල සහ ප‍්‍රතිසංවර්ධිත මැදිරි සංකීර්ණය ද ජනාධිපතිතුමා අතින් විවෘත කෙරිණි.එමෙන්ම 50 වන සංවත්සරය වෙනුවෙන් සමරු මුද්දරයක් සහ මුල්දින කවරයක් ද එළිදැක්විණි.උත්සව සභාව ඇමතූ ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේ බුද්ධිමය දේපළ මංකොල්ලකෑම පිළිබඳ නීති ප‍්‍රතිසංස්කරණය කරමින් නව නීති සම්පාදනය කිරීමට රජය කටයුතු කරන බවයි. එහිදී මාධ්‍ය ආයතන සහ ඒ පිළිබඳ වගකීම දරන සියලු ආයතන නීතිය, චක‍්‍රලේඛ මෙන්ම මනුෂ්‍යත්වය තුළ කටයුතු කරනු ඇතැයි තමා විශ්වාස කරන බවද ජනාධිපතිතුමා පැවසීය.

පූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර, පූජ්‍ය කොටුගොඩ ධම්මාවාස නායක ස්වාමින් වහන්සේලා ප‍්‍රමුඛ මහා සංඝරත්නය ද, අමාත්‍ය ගයන්ත කරුණාතිලක, නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන, ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් නිමල් බෝපගේ, ගුවන් විදුලි සංස්ථාවේ සභාපති නන්ද මුරුත්තෙට්ටුවේගම මහතා ඇතුළු කාර්ය මණ්ඩලය මෙම අවස්ථාවට එක්ව සිටියහ.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.