• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

ගොඩනැගිලි ඉදිකිරීම් ක්ෂේත‍්‍රය සඳහා ජාතික ප‍්‍රතිපත්තියක කඩිනම් අවශ්‍යතාවය ජනපති අවධාරණය කරයි

He news 2017 01 09 1රාජ්‍ය මෙන්ම පෞද්ගලික දෙඅංශය තුළම ගොඩනැගිලි ඉදිකිරීම් පිළිබඳ ජාතික ප‍්‍රතිපත්තියක කඩිනම් අවශ්‍යතාවය ජනාධිපතිතුමා අවධාරණය කරයි.ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව අවධාරණය කළේ ඊයේ (09) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ පැවති හරිත ගොඩනැගිලි මාර්ගෝපදේශන සංග‍්‍රහය සහ ඇගයීම් ක‍්‍රමවේදය එළිදැක්වීමේ උත්සවයට එක් වෙමිනි.

අපේ රට කුඩා දිවයිනක් වන අතර වේගයෙන් ඉහළ යන ජනගහන වර්ධනයත් සමග ගැටලු රැසකට මුහුණදීමට සිදුව ඇති බවත් නිවාස ඉදිකිරීම් සඳහා ද ජාතික ප‍්‍රතිපත්තියක් නොමැතිවීම හේතුවෙන් අභියෝග රැසක් මතුව ඇති බවත් ජනාධිපතිතුමා මෙහිදී පෙන්වා දුන්නේය.

මේ අනුව සලකා බැලීමේදී තවත් වසර 25 – 30 ක් ගතවන විට වගා කිරීමට ඇති භූමි ප‍්‍රමාණය ද සීමාවීම තුළින් කෘෂි ක්ෂේත‍්‍රයේ අභියෝග රැසකට මුහුණදීමට සිදුවන බව පෙන්වා දුන් ජනාධිපතිතුමා මිනිසා ප‍්‍රමුඛ සියලු සත්වයාගේත්, ස්වභාව ධර්මයේත් පැවැත්ම උදෙසා තම වගකීම් සහ යුතුකම් ඉටුකිරීමට අප කඩිනමින් ඒකරාශි විය යුතු බව කියා සිටියේය.

2017 වසරේ සිට ශී‍්‍ර ලංකාවේ ඉදිකිරීම් ක්ෂේත‍්‍රය හරිතකරණයට ලක්කිරීමේ පළමු අදියර ලෙස රාජ්‍ය අංශයේ ආයතනයන්හි ගොඩනැගිලි පරිසර හිතකාමී හරිත ගොඩනැගිලි ලෙස පවත්වාගෙන යාම සඳහා ජනාධිපති කාර්යාලයේ මගපෙන්වීම යටතේ මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය හා නාගරික සංවර්ධන අධිකාරිය එක්ව හරිත ගොඩනැගිලි මාර්ගෝපදේශන සංග‍්‍රහය සහ හරිත ඇගයීමේ ක‍්‍රමවේදය පිළියෙල කර ඇත.

එම ප‍්‍රකාශය මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ ලේකම් උදය ආර්. සෙනෙවිරත්න, මහා නගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් නිහාල් රූපසිංහ යන මහත්වරුන් විසින් ජනාධිපතිතුමා වෙත පිළිගැන්වූහ.

ඊට අදාළ නිල වෙබ් අඩවිය ද ජනාධිපතිතුමා අතින් විවෘත කෙරිණි.ජනතාවට නිසි අවබෝධයක් ලබා දෙමින් මෙම ව්‍යාපෘතිය සාර්ථක කර ගැනීමට කැපවීම ඉංජිනේරුවන්ගේ මෙන්ම ඉදිකිරීම් ක්ෂේත‍්‍රයේ විශේෂඥයින් ඇතුළු සියලුදෙනාගේ වගකීම බව ජනාධිපතිතුමා මෙහිදී ප‍්‍රකාශ කළේය.අමාත්‍යවරුන්වන පාඨලී චම්පික රණවක, අර්ජුන රණතුංග යන මහත්වරුන් ද ඉදිකිරීම් ක්ෂේත‍්‍රයේ ප‍්‍රවීණයින්, ආචාර්ය මහාචාර්යවරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.