• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

නියඟයට මුහුණ දීමට සියලු අමාත්‍යාංශ, ආයතන එක්ව පුළුල් වැඩපිළිවෙළක්

Press conference DGI 2017.01.13රටේ ඇති වී තිබෙන නියඟ කාලගුණික තත්ත්වයට මුහුණ දීමට සියලු ම අමාත්‍යාංශ සහ ආයතන එක්ව  පුළුල් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට  මේ වන විට කටයුතු යොදා ඇති බවත්, ඒ සඳහා අවශ්‍ය උපදෙස් මේ වන විටත් සියලු ම අමාත්‍යාංශ වෙත ලබා දී ඇති බවත්  ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා පවසයි.

 

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, අද (13) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී පැවති,  වියළි කාලගුණික තත්ත්වය පිළිබඳ පූර්ව දැනුම්වත් කිරීමේ  ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වෙමි.

ඉදිරි මාස තුනක කාලය රටේ වර්ෂව ඉතාම අවම කාලයක් වන බව පෙන්වා දුන් අමාත්‍යවරයා,  කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවත් ඒ පිළිබඳව පුරෝකථනය කර ඇති බව පෙන්වා දුන්නේය. ඉදිරියේ දී ඇති වන නියඟයට හේතුව 2016 වසරේ බලපොරොත්තු වූ වර්ෂාපතනය නොලැබීම බව අමාත්‍යවරයා එහිදී පෙන්වා දුන්නේය.  නියඟය පිළිබඳ ව කරුණු ගණනවක් ඔස්සේ  අධ්‍යයනය කිරීමට සිදු වූ බවද අමාත්‍යවරයා එහිදී පෙන්වා දුන්නේය.  මේ පිළිබඳව ජනාධිපතිතුමා විසින් කැබිනට් අනුකමිටුවක් පත් කර අදාළ උපදෙස් ලබා දී ඇති බවද පෙන්වා දුන් අමාත්‍යවරයා තවදුරටත් පැවසුවේ, ඉදිරියේදී මේ පිළිබඳ වාර්තාව ජනාධිපතිවරයාට ලබාදීමට කටයුතු කරන බවයි. 

දැනට අපේ ප්‍රධාන වාරිමාර්ගවල ජල ධාරිතාව සියයට 27%ක් පමණ වී ඇති බව පෙන්වා දුන් අමාත්‍යවරයා තවදුරටත් පැවසුවේ, මධ්‍යම ප්‍රමණ ජලාශ 220ක සියයට 20%ක පමණ ධාරිතාවක් පවතින බවයි.  මේ තත්ත්වය තවදුරටත්  පැවතිය හොත් යළ කන්නයට බලපෑම් එල්ලවන බව අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

මෙම තත්ත්වය විදුලි උත්පදනයටත් බලපෑම් සිදු කරන බව අමාත්‍යවරයා එහිදී පෙන්වා දුන් අතර, මෙම සියලු ම තත්ත්වයන්ට මුහුණ දීම සඳහා   මේ වන විටත් පුළුල් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙමින් පවතින බදව අමාත්‍යවරයා පැවසීය.

ජනමාධ්‍ය අමාත්‍යාංශයත්, ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවත් එක්ව මේ පිළිබඳ විශාල ප්‍රචාරක වැඩපිළිවෙළක් ඉදිරයේදී ක්‍රියාත්මක කෙරෙනු ඇත. ඒ අනුව මේ පිළිබඳව මහජනතාව දැනුම්වත් කිරීම ඔවුන් විසින් සිදු කරනු ලැබේ. දැනටමත් යම් යම් ප්‍රදේශවල ජලය බෙදා හැරීම් කටයුතු සිදු කරමින් පවතින බව පෙන්වා දුන් අමාත්‍යවරයා තවදුරටත් පැවසුවේ, ප්‍රධාන දිස්ත්‍රික්ක 13ක් සඳහා අමාත්‍යාංශය මගින් නිලධාරීන් දැනටමත් පිටත් කර තිබෙන බවයි.  ඒ ඔස්සේ අනුරාධපුරය, පොලොන්නරුව, හම්බන්තොට, මොණරාගල, කුරුණැගල, පුත්තලම, ත්‍රීකුණාමලය, වව්නියා, මන්නාරම, කිළිනොච්චිය, යාපනය, මඩකලපුව සහ මුලතිව්, යන දිස්ත්‍රික්කවල වාර්තා ලබාගත හැකි වන බව අමාත්‍යවරයා එහිදී පැවසීය. ඒ අනුව සහනාධාර අවශ්‍යතාවය අනුව මුදල් නිකුත් කිරීමට ද බලාපොරොත්තු වේ.

මෙම අවස්ථාවේදී අමාත්‍යාංශයක් වශයෙන් ජනතාවගෙන් මූලික කරුණු දෙකක් අපේක්ෂා කරන බව පෙන්වා දුන් අමාත්‍යවරාය පවතින ජලය අරපිරිමැස්මෙන් භාවිත කිරීම සහ විදුලියත් අරපිරිමස්මෙන් භාවිත කිරීම ඒ අතර ප්‍රමුඛ වන බව පැවසීය. ජල අවශ්‍යතා පවතින ප්‍රදේශවලට කඩිනමින් අවශ්‍යතා අනුව ජලය බෙදා හැරීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා පැවසීය. දැනටමත්  දිස්ත්‍රික්ක 25කින් ජලටැංකි 1754ක අවශ්‍යතාව පෙන්වා දී ඇති අතර, ඒවා කඩිනමින් බෙදා හැරීමට මේ වන විටත් පියවර ගෙන ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය. 


මෙම කාලගුණික තත්ත්වය පිළිබඳ ව  ජනාධිපතිතුමාගේ හා අගමැතිතුමාගේ අවධානය මේ වන විට යොමු වී තිබෙනවා. අපේ අමාත්‍යාංශය පමණක් නොව,අනෙක් අමාත්‍යාංශය, එක්සත් ජාතීන්ගේ සංවිධානය සමඟ එක්ව මේ පිළිබඳව සාකච්ඡා වට ගණනාවක් මේ වන විට සිදු කර තිබෙනවා. සියලු අමාත්‍යාංශවලට ඉදිරියේ කටයුතු කරන්නේ කෙසේද යන්න පිළිබඳ ව දැනුම්වත් කර තිබෙන බව පෙන්වා දුන් අමාත්‍යවරයා තවදුරටත් පැවසුවේ මෙම තත්ත්වය ජාතික උවදුරක් ලෙස සලකා  ඉදිරියේ දී සියලු ම දෙනා එක්ව කටයුතු කළ යුතු බවයි. 

මේ අවස්ථාවට පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන, ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ ලේකම් එස් එස් මියනවල, ආපදා කළමනකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරල් ජී.එල්.එස්.සේනාධීර, කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ කේ.එච්. එම්.එස්. ප්‍රේමලාල්, රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරල් ආචාර්ය රංග කලංසූරිය යන මහත්වරු එක්ව සිටියහ.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.