• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

පොලිස් සේවාව පිළිබඳ මහජනතාව තුළ පවතින ඇතැම් ආකල්ප තුරන් කළ යුතුවේ

Pol.sri lankaපොලිස් සේවාව සහ මහජනතාව අතර අන්‍යෝන්‍ය සුහදතාවය වර්ධනය කරමින් පොලිස් සේවාව පිළිබඳ මහජනතාව තුළ පවතින ඇතැම් ආකල්ප තුරන් කිරීම සඳහා කඩිනම් අවධානය යොමුවිය යුතු බව ජනාධිපතිතුමා පෙන්වා දෙයි.
පොලිස්පතිවරයා ඇතුළු පොලිස් දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරින් සමඟ ඊයේ (13) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව පෙන්වා දුන් අතර, පොලිස් සේවාව වඩා කාර්යක්ෂම සහ මිත‍්‍රශීලි සේවාවක් බවට පත් කිරීම සඳහා ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳ මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් විය.

මහජන සම්බන්ධතාවලදී පහල නිලධාරින්ගේ විනය පිළිබඳ සුදුසු ක‍්‍රමවේදයක් අනුගමනය කිරීම පිළිබඳ ව ද අවධානය යොමු වූ අතර චක‍්‍රලේඛ වලින් ලබාදෙන උපදෙස්වලට වඩා සන්සුන් සහ නිදහස් මනසකින් යුතුව ඔවුන්ට රාජකාරී කිරීමට අවශ්‍ය වටපිටාව සලසා දීමේ වැදගත්කම ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.

මත්ද්‍රව්‍ය නිවාරණ වැඩපිළිවෙළ වෙනුවෙන් පොලිසිය ගෙන යන වැඩසටහන් පිළිබඳ ව ද සාකච්ඡා කෙරුණු අතර මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය කිරීම මෙන්ම විදේශ රටවලින් මෙරටට රැගෙන එන මත්ද්‍රව්‍ය පිළිබඳ එම රටවල් දැනුම්වත් කිරීමට පියවර ගැනීම සම්බන්ධයෙන් ද සාකච්ඡා කෙරිණි.

අපරාධ අවම කර ගනිමින් රට තුළ නීතිය සහ සාමය ආරක්ෂා කිරීම වෙනුවෙන් වූ පොලිස් දෙපාර්තමේන්තුවේ වැඩසටහන් පිළිබඳ ව ද අවධානය යොමු වූ අතර එහිදී පොලිසිය පෙන්වා දුන්නේ අද සිදු කෙරෙන සංවිධානාත්මක අපරාධ සඳහා ජංගම දුරකතනය භාවිත කරන අතර එම ජංගම දුරකතනවල විස්තර ලබා ගැනීමේදී විදුලි සංදේශන නියාමන කොමිසන් සභාව හරහා සිදුකෙරෙන කි‍්‍රයාවලිය සංකීර්ණ බැවින් අපරාධ විමර්ශන කටයුතුවලදි ගැටලු සහගත තත්ත්වයක් මතුව ඇති බවයි.

විදුලි සංදේශන නියාමන කොමිසම සහ අවශ්‍යනම් ශී‍්‍ර ලංකා ටෙලිකොම් ආයතනය සමඟ සාකච්ඡා කර ඒ සඳහා ගතහැකි කි‍්‍රයාමාර්ග සොයා බලන බව ජනාධිපතිතුමා පැවසීය.

ජනමාධ්‍ය සහ සාමාන්‍ය ජනතාවගේ විවේචනවලට ලක්වන කරුණුවලදී පොලිස් දෙපාර්තමේන්තුව නව සැලසුම් සහ වැඩසටහන් ඔස්සේ කටයුතු කිරීමේ වැදගත්කම ද ජනාධිපතිතුමා මෙහිදී පෙන්වා දුන්නේය.

නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශයේ ලේකම් ජගත් පී. විජේවීර, පොලිස්පති පූජිත ජයසුන්දර යන මහත්වරුන් ද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු සහ නියෝජ්‍ය පොලිස්පතිවරු මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.