• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

ඉදිරියේදී මතුවිය හැකි නියඟයට මුහුණදීමට ජනපති නියමයෙන් ජනාධිපති කාර්ය සාධන බලකායක්

Niyagayaවියළි කාලගුණ තත්ත්වයත් සමඟ ඉදිරියේදී මතුවිය හැකි නියං තත්ත්වයට රජයක් ලෙස මුහුණදෙමින් පීඩාවට පත්වන ජනතාවට සහන සැලසීම සඳහා ජනාධිපති කාර්ය සාධන බලකායක් පත් කිරීමට ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා උපදෙස් ලබා දී තිබේ.
නියඟය සමග මතුවන අභියෝග සහ රජයක් ලෙස ඊට මුහුණදීම සඳහා අනුගමනය කළයුතු වැඩපිළිවෙළ පිළිබඳ සොයා බැලීමට ජනාධිපතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් (13) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී ජනාධිපතිතුමා මෙම උපදෙස් ලබා දුන්නේය.
පීඩාවට පත්වන ජනතාවට පානීය ජලය බෙදාදීම, මතුවිය හැකි සෞඛ්‍ය ගැටලු සඳහා විසඳුම් ලබාදීම, ආහාර ඇතුළු අනෙකුත් අවශ්‍යතා සපුරාලීම, විදුලිබල උත්පාදන අභියෝග ජය ගැනීම ආදි කරුණු පිළිබඳ මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් විය.
පීඩාවට පත්වන ජනතාවට පානීය ජලය බෙදාදීම සඳහා දිස්ති‍්‍රක් ලේකම්වරුන්, ප‍්‍රාදේශීය ලේකම්වරුන් සහ ති‍්‍රවිධ හමුදාව එක්ව වැඩසටහන් කි‍්‍රයාත්මක කිරීමට නියමිත අතර ඒ පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් විය.
ඒ සඳහා අවශ්‍ය ජල බවුසර් හා ජල ටැංකි සපයා ගැනීමේදී තානාපති කාර්යාලවල සහ ජාත්‍යන්තර සංවිධානවල සහය ලබාගැනීමේ හැකියාව පෙන්වා දුන් ජනාධිපතිතුමා අවශ්‍යනම් ආපදා කළමණාකරණ අමාත්‍යාංශය හරහා ජල බවුසර් මිලදී ගැනීමට ද උපදෙස් දුන්නේය.
නියඟය පවතින ප‍්‍රදේශ හඳුනාගෙන එම ප‍්‍රදේශවල භූගෝලීය තත්ත්වයන් සොයා බැලීමටද මෙහිදී අදාළ අංශ වෙත උපදෙස් ලබා දුන් ජනාධිපතිතුමා පිරිසිදු පානීය ජලය ලබා ගැනිම සඳහා ජල මුලාශ‍්‍ර හඳුනා ගැනීමට සහ නළ ලිං, ජල පොම්පාගාර අලුත් වැඩියා කිරිමේ කටයුතු කඩිනමින් ආරම්භ කිරීමට ද ජල සම්පාදන මණ්ඩලයට උපදෙස් දුන්නේය.
නියඟයෙන් පීඩාවට පත්වන ජනතාවට අවශ්‍ය ආහාර සපයාදීම වෙනුවෙන් ආධාර කිරීමට ලෝක ආහාර සංවිධානය දැනටමත් කැමැත්ත පළ කර තිබෙන අතර අවශ්‍ය වුවහොත් නියං ආධාර බෙදාදීම සඳහා විධිමත් වැඩපිළිවෙළක් සකස් කිරීම පිළිබඳව ද සාකච්ඡා විය.
මෙහිදී මුදල් අමාත්‍යවරයා පෙන්වා දුන්නේ සහල් ආනයන කටයුතු ආරම්භ වීමත් සමඟ අද වන විට සහල් කිලෝ ග‍්‍රෑම් එකක මිල රුපියල් 10 කින් පමණ අඩුකර ගැනීමට හැකියාව ලැබී තිබෙන බවයි.
ජල විදුලිබල ධාරිතාව මේ වන විට ක‍්‍රමයෙන් අඩුවෙමින් පවතින අතර ඊට විකල්ප වශයෙන් තාප විදුලි උත්පාදනය සහ සූර්ය බලශක්තිය ප‍්‍රචලිත කිරීම සඳහා නව වැඩසටහන් කි‍්‍රයාත්මක කිරීම පිළිබඳව ද මෙහිදි අවධානය යොමු කරන ලදී.
නියං තත්ත්වය සමඟ මතුවන අභියෝග සමනය කර ගැනීම සඳහා ජලය සහ විදුලිය අරපිරිමැස්මෙන් භාවිතා කිරීම පිළිබඳ ජනතාවට පුළුල් දැනුමක් ලබාදීමේ අවශ්‍යතාවය මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිතුමා ඒ පිළිබඳ ජනමාධ්‍ය වෙත විශාල වගකීමක් පැවරී තිබෙන බවත්, ඒ සඳහා විශේෂ ප‍්‍රචාරක වැඩසටහන් කි‍්‍රයාත්මක කිරීමේ වැදගත්කමත් පෙන්වා දුන්නේය.
මතුවිය හැකි නියං තත්ත්වයට මුහුණදීම සඳහා දැනටමත් ගෙන ඇති පියවරයන් පිළිබඳ ආපදා කළමණාකරන අමාත්‍ය අනුර පි‍්‍රයදර්ශන යාපා මහතා විසින් මෙහිදී විස්තර කළ අතර අමාත්‍යවරුන් වන රවී කරුණානායක, සුසිල් පේ‍්‍රමජයන්ත, රංජිත් සියඹලාපිටිය, දුමින්ද දිසානායක, පී. හැරිසන්, නියෝජ්‍ය අමාත්‍ය කරුණරත්න පරණවිතාන යන මහත්වරුන් ද අදාළ අමාත්‍යාංශ ලේකම්වරු සහ නිලධාරින් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.