• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

තෛපොංගල් දිනය නැවුම් සිතුවිලිවිලන් අලුත් කරන සංක්‍රාන්තිමය අවස්ථාවක් - ජනපති

He presidentතෛපොංගල් දිනය අධ්‍යාත්මිකව ජීවිත නැවුම් සිතිවිලිවලින් අලුත් කරන සංක්‍රාන්තිමය අවස්ථාවක් බවත් මානව ප්‍රගමනයේ අරුණෝදයේ සිට පාරිසරික සාධක සමග ළෙංගතු ගනුදෙනුවක නිරත වූ මිනසා සොබාදහමේ සමස්තය නියෝජනය කළ සුර්යයා වෙනුවෙන් දැක්වූ අපරිමිත භක්තිය, පරිණාමය කරා පැමිණි ගමනේ දී අත් නොහළ බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සඳහන් කරයි.
 
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සඳහන් කරන්නේ තෛපොංගල් දිනය වෙනුවෙන් සුබපැතුම් පණිවුඩයක් නිකුත් කරමිනි.

ජනාධිපතිතුමා විසින් නිකුත් කළ සම්පූර්ණ සුබපැතුම් පණිවුඩය.

මානව ප්‍රගමනයේ අරුණෝදයේ සිට පාරිසරික සාධක සමග ළෙංගතු ගනුදෙනුවක නිරත වූ මිනසා සොබාදහමේ සමස්තය නියෝජනය කළ සුර්යයා වෙනුවෙන් දැක්වූ අපරිමිත භක්තිය, පරිණාමය කරා පැමිණි ගමනේ දී අත් නොහළේය.

ලොව පුරා වෙසෙන දෙමළ ජාතිකත්වයත් හින්දු දහමත් වෙතින් සුපෝෂිත දෙමළ ජනතාව එදා මෙදාතුර දේවත්වයෙන් ඇදහු සුර්යයා වෙනුවෙන් දක්වන චිරාගත චාරිත්‍ර අතර ඉහළින් බැබළෙනුයේ තෛපොංගල් උත්සවයයි. මිනිසා සහ සොබාදහම අතර වන සංවේදී කෘතිවේදීත්වයෙන් වර්ණවත් වන තෛපොංගල් දිනය අධ්‍යාත්මිකව ඔවුන්ගේ ජීවිත නැවුම් සිතුවිලිවලින් අලුත් කරන සංක්‍රාන්තිමය අවස්ථාවක් වේ.

කෙත, කමත, සරුසාර අස්වැන්න ලබාදීමට සුර්යයා ප්‍රමුඛ පරිසරය මෙන් ම ගොවිබිමට සවියත්, ජීවිතයට පස්ගොරසත් ලබාදෙන ගව සම්පත් විෂයෙහි ද සිය ශක්තිය සහ ගෞරවය පිරිනැමීමට දෙමළ ජනතාව තෛපොංගල් දිනය ඉවහල් කර ගැනීමෙන් ඔහුගේ කෘතවේදීත්වයේ පුළුල් පරාසය විදහා දැක්වේ.

මිනිසා සහ විශ්ව දායාදයන් අතර අනෝන්‍ය සම්මුති යාවත්කාලීන කරනු ලබන මෙවන් සංස්කෘතිමය ප්‍රකාශනයන් ඔස්සේ විචිත්‍ර වනුයේ ඔහුගේ පුළුල් හඳ මඬල තුළ රැඳි උත්කෘෂ්ඨ දැක්මය.

තිරසර යුගයක් කරා ලෝකය නව ගමන් මගකට ප්‍ර වේශ වන මොහොතේ තෛපොංගල් උත්සවය අනාදිමත් ඉතිහාසයක් පුරා රැගෙන ආ චිරාත් කාලීන පණිවුඩය වඩ වඩාත් උත්කර්ෂවත් වනු නිසැකය.

සහෝදර දෙමළ ජනතාවටත් රටටත් සෞභාග්‍ය සතුට පිරිවැරූ තෛපොංගල් උළෙලකට ශුභාශිංසන පිරිනමමි.
 
මෛත්‍රීපාල සිරිසේන
ජනාධිපති
 

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.