• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

ගිවිසුම්වලින් වරායට අගතියක් වෙන්න ඉඩදෙන්නේ නැහැ.

Hon. Arjuna Ranathunaga2017.01.18ගිවිසුම් අත්සන් කිරීමේදී තම ආයතනවලට වැඩි වාසියක් අත්වන පරිදි එය සිදුකිරීමට සෑම උත්සාහයක්ම ගන්නා බව වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවසීය.

අමාත්‍යවරයා මේ බව පැවසූයේ ඊයේ (17) පස්වරුවේ මහපොළ අභ්‍යාස ආයතනයේ පැවති උත්සවයකදී අදහස් දක්වමිනි. එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ, සේවකයින්ගේ ශක්තියෙන් ගොඩනැගුණු වරාය අගතියට පත්කිරීමට තමා කිසිවිටෙක කටයුතු නොකරන බවයි.  එහිදී අමාත්‍යවරයා තවදුරටත් පැවසුවේ, “වරාය ගැන කතා කරන්න බොහෝදෙනෙක් ඉන්නවා.

විපක්ෂයේ අය වෙනම කතා කරනවා, ආණ්ඩුවේ අයත් කතා කරනවා. මමත් අමාත්‍යවරයා විදියට වරායට සාධාරණ වන ගිවිසුම් වලට එන්න උත්සාහ ගන්නවා. මගේ නියෝජ්‍ය ඇමතිවරයා සහ මම කවදාවත් වරායට අගතියක් වෙන කිසිමදෙයක් කරන්න ඉඩ දෙන්නේ නැහැ. අපිට ණය බරත් එක්ක විශාල ප්‍ර‍ශ්න ගොඩකට අපිට මුහුණ දෙන්න සිදුවෙලා තියෙනවා. නමුත් මම අදත් කියනවා හම්බන්තොට වරාය හදපු ස්ථානය ඉතාම වැදගත්. අපිට හම්බන්තොට වරායේ ණය ප්‍රමාණයේ බර අඩු වුණොත් නැගෙනහිර පර්යන්තයට ආයෝජකයෙක් ගැන හිතන්නත් පුළුවන්. නැගෙනහිර පර්යන්තය අපිට ම කරන්න පුළුවන්ද කියන එකත් දැනට අපි සාකච්ඡා කරගෙන යනවා.

මොකද ණය ගැනීමේදී අපි විශාල ප්‍ර‍ශ්න ප්‍ර‍මාණයකට මුහුණ දෙනවා. හම්බන්තොට ණය සහ පොලිය අපි ගෙවන්නේ කොළඹ වරායෙන් ලබන ලාභයෙන්. අපිට ඒ ගෙවීමට ඇති මුදල නැති වෙනවා නම්, අපිට හැකිවෙයි අඩු පොලියකට ණයක් ගන්න. එහෙම වුණොත් නැගෙනහිර පර්යන්තය වරාය අධිකාරිය යටතට වැඩි ප්‍රමාණයක් ලබාගෙන වෙනස් ක්‍ර‍මයකට ඉදිරියට ගෙනයන්නත් පුළුවන්. සේවක ජනතාව රැකගත් වරාය අපි ඇවිල්ලා වෙන කාටවත් දීල යන්න ආව ගමනක් නෙවෙයි මේ” යැයිද අර්ජුන රණතුංග අමාත්‍යවරයා එහිදී පැවසීය. 

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සේවය කළ මහත්ම මහත්මීන්ගේ සේවය ඇගයීම සඳහා මෙම උත්සවය සංවිධානය කෙරිණි. එහිදී සේවකයින් 141ක් වෙනුවෙන් රන් තිළිණ ප්‍ර‍දානය කිරීම ද සිදුවිය. මෙම අවස්ථාවට වරාය සහ නාවික නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම, ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ධම්මික රණතුංග, අධ්‍යක්ෂ මණ්ඩලය ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් එක්වූහ.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.