• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

නියඟයේ අපහසුතා ගැන අගමැති සහ ලෝක ආහාර වැඩසටහනේ විධායක අධ්‍යක්ෂිකා අතර සාකච්ඡාවක්

PM 2017.01.19 2ඉදිරියේ දී ශ්‍රී ලංකාවට මුහුණ පෑමට සිදුවන නියඟය හේතුවෙන් ජනතාවට සිදුවන අපහසුතාවන් හා පීඩාවන් හමුවේ ගත යුතු ක්‍රියා මාර්ග පිළිබඳව ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ  ලෝක ආහාර වැඩසටහනෙහි විධායක අධ්‍යක්‍ෂිකා එතරින් කොසින් (Ms. Ertharine Cousine) මහත්මිය අතර විශේෂ සාකච්ඡාවක් ඩවොස් නුවර ලෝක ආර්ථික සමුළු මධ්‍යස්ථානයේ දී පැවැත්විණි.

 විශේෂයෙන්ම කෘෂිකර්ම ක්ෂේත්‍රයට සිදුවන බලපෑම මෙන්ම, ජල විදුලි උත්පාදනය සම්බන්ධයෙන් මතුවන ගැටලු පිළිබඳව ද මෙහිදී අවධානය යොමු කෙරිණි. පරිභෝජනය සඳහා සහල් සහ විදුලිබල උත්පාදනය සඳහා ඉන්ධන ආනයනය කිරීමට ද සිදුවන බව වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේය.

එසේම කෘෂිකර්මයෙන් පමණක් යැපෙන පවුල්වල ජීවන තත්වය සුරක්‍ෂිත කරලීම සඳහා සහන සහ ආධාර ලබාදීමට සිදුවන බව ද වික්‍රමසිංහ මහතා පැවසීය.

ශ්‍රී ලංකා රජය ලෝක ආහාර වැඩසටහන සඳහා උපරිම සහය ලබා දීම සම්බන්ධව ස්තුතිය පළ කළ කොසින් මහත්මිය, ලබන පෙබරවාරි 10 වන දා ශ්‍රී ලංකාවේ සංචාරයක් සඳහා පැමිණෙන බව ප්‍රකාශ කළාය. ඒ සංචාරය අතරතුර නියඟයේ අභියෝගයන් පිළිබඳව වැඩිදුර සාකච්ඡා කිරීමට හැකි බව ද විධායක අධ්‍යක්‍ෂවරිය පෙන්වා දුන්නාය.

ලෝක ආහාර වැඩසටහන ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කරන අනෙකුත් වැඩසටහන් සම්බන්ධයෙන් ද මේ සාකච්ඡාවේ දී අදහස් හුවමාරු කර ගැනිණි.

ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කාර්යයන් පිළිබඳව ද අගමැති වික්‍රමසිංහ මහතා කරුණු ගෙනහැර දැක්වීය.

වර්තමානයේ ශ්‍රී ලංකා රජය ගෙන යනු ලබන සංවර්ධනාත්මක සහ ධනාත්මක වැඩ සැලසුම් සම්බන්ධයෙන් සිය ප්‍රසාදය පළ කළ කොසින් මහත්මිය නියඟය හමුවේ එළැඹෙන අභියෝගයන් ජය ගැනීම සඳහා ශ්‍රී ලංකාවට පූර්ණ සහය සහ ආධාර ලබා දීමට තම සංවිධානය ඉදිරිපත් වන බව පැවසුවාය.

මුදල් අමාත්‍ය රවි කරුණානායක, ජිනීවා හි ශ්‍රී ලංකා තානාපති රවිනාථ ආරියසිංහ සහ අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් සමන් අතාවුදහෙට්ටි යන මහත්වරුන් ද මේ සාකච්ඡාවට සහභාගී වූහ.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.