• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

ශ්‍රී ලංකා අගමැති සහ පකිස්ථාන් අගමැති අතර සාකච්ඡාවක්

PM 2017.01.19.3ශ්‍රී ලංකාව සහ පකිස්තානය අතර ද්විපාර්ශවික සබඳතා තව තවත් ශක්තිමත් කරලීමටත්, කඩිනමින් නිදහස් වෙළඳ ගිවිසුමකට එළැඹිමටත් අවශ්‍ය පියවර ගත යුතු බව පකිස්ථාන් අග්‍රාමාත්‍ය නවාස් ෂෙරීෆ් (HE Nawaz Sharif) මහතා සහ ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර පැවති සාකච්ඡාවේ දී තීරණය කෙරිණි.

 ඩවොස් නුවර ලෝක ආර්ථික සමුළු කේන්ද්‍රස්ථානයේ දී 18 වන දා සන්ධ්‍යාවේ මේ සාකච්ඡාව පැවැත්විණි.

ද්විපාර්ශවික සබඳතා ශක්තිමත් කර ගැනීම හා දෙරටේ විවිධ ක්ෂේත්‍රයන් අතර සමීපත්වයක් නිර්මාණය කර ගැනීම සඳහා පකිස්තානයේ සංචාරයකට පැමිණෙන මෙන් පකිස්තානු අගමැතිවරයා වික්‍රමසිංහ මහතාට ආරාධනා කළේය.

දකුණු ආසියාවේ සාමය සහ ස්ථාවරත්වය තහවුරු කිරීම හා ආරක්‍ෂා කිරීම යුගයේ අවශ්‍යතාවක් බව පෙන්වා දුන් දෙරටේ අග්‍රාමාත්‍යවරු, ත්‍රස්තවාදය දුරැලීම හා දුප්පත්කම තුරන් කිරීම සම්බන්ධයෙන් මූලික භූමිකාවක් නිරූපණය කිරීමේ වැදගත්කම ද අවධාරණය කළහ.

සාර්ක් සමුළුවේ අනාගතය හා කලාපීය ගැටලු සාමකාමීව සාකච්ඡාවෙන් හා සම්මුතියෙන් විසඳා ගැනීම සම්බන්ධව ද මෙහිදී අදහස් හුවමාරු කර ගැනිණි.

ඉන්දීය සාගරයේ කේන්ද්‍රස්ථානයක් ලෙස ශ්‍රී ලංකාව ඔසවා තැබීමේ වැඩ සැලැස්ම සම්බන්ධයෙන් ද වික්‍රමසිංහ මහතා නවාස් ෂෙරීෆ් මහතා හමුවේ කරුණු පැහැදිලි කළේය.

මුදල් අමාත්‍ය රවි කරුණානායක, සංවර්ධන උපාය මාර්ග සහ ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම, ජිනීවා හි ශ්‍රී ලංකා තානාපති රවිනාථ ආරියසිංහ සහ අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් සමන් අතාවුදහෙට්ටි යන මහත්වරුන් ද මේ සාකච්ඡාවට සහභාගී වූහ.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.