• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

හෙට සිට ඩෙංගු මර්දනය වෙනුවෙන් රාජ්‍ය ආයතන තුළ විශේෂ පරීක්ෂාවක්

denguහෙට (24)  ඩෙංගු මර්දනය වෙනුවෙන් රාජ්‍ය ආයතන තුළ විශේෂ ආයතන පරීක්ෂාවක් සිදු කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශ පියවර ගෙන ඇත.

ඒ අනුව ඩෙංගු රෝගය ව්‍යාප්ත වීමේ තත්ත්වය පාලනය කිරීම අරමුණු කොට ගෙන සියලු ම රාජ්‍ය ආයතන පරික්ෂා කිරීම එම ආයතන විසින් ම හෙට දින සිදු කෙරෙනු ඇත. මීට සමඟාමී ව මේ මස 25, 26 සහ 27 යන දිනයන් දී සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල වලින් මෙම රාජ්‍ය ආයතන නැවත  පරික්ෂාවට ලක් කිරීමට කටයුතු යොදා ඇති බව  ‍ජාතික ඩෙංගු මර්ධන ‍ඒකකයේ,  විශේෂඥ වෛද්‍ය හසිත තිසේරා මහතා පවසයි.

ඒ මහතා මේ අදහස් පළ කළේ  අද (23) ජාතික ඩෙංගු මර්දන ඒකකයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමිනි. 

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ  වෛද්‍ය තිසේරා මහතා පැවසුවේ, පසුගිය දින වල ඇති වූ කාලගුණික විපර්යාසයන් සමඟ ඩෙංගු ඇති වීමේ ප්‍රවණතාවයේ යම් යම් වෙනස්කම් සිදු වූ බවයි.  වෛද්‍ය තිසේරා මහතා තවදුරටත් පැවසුවේ, ලංකාව ඇතුළු ව රටවල් ගණනාවක ඩෙංගු මදුරුවන් බෝවීමේ ප්‍රවණතාවය හා ඩෙංගු රෝගී ව්‍යාප්ත වීමේ ප්‍රවණතාවයේ  යම්කිසි වර්ධනයක් දක්නට ඇති බවයි.  විශේෂයෙන් ම අපට ආසන්නයේ පවතින රටවල් කිහිපයක් සලකා බැලීමේදී මැලේෂියාවේ  2016 වර්ෂය තුළ රෝගීන් ලක්ෂයක් පමණ වාර්තා වේ.  ඒ වගේම මරණ 231ක් එරටින් වාර්තා වේ. පිලිපීනය ගත් කළ රෝගීන් ලක්ෂයක් වාර්තා වන අතර,  මරණ 440ක් වාර්තා වේ. සිංප්පූරුව වැනි කුඩා රටක් ගත් කළ රෝගීන් 13,000කට අධික සංඛ්‍යාවක් 2016 වර්ෂය තුළදී  වාර්තා වී ඇත. 

මීට අමතර ව ඉන්දියා, බංගලා දේශය සහ යම්තාක් දුරට පකිස්තානයෙත් රෝගීන්ගේ වාර්තා වීමක් දක්නට ඇති බව තිසේරා මහතා එහිදී පැවසීය.  ලංකාවේ 2016 වර්ෂය වන විට රෝගීන් 55,000කට අධික සංඛ්‍යාවක් වාර්තා වී ඇත. මරණ අනුපාතිකය ගත් කළ  2016 වර්ෂයට මරණ 91ක්  වාර්තා වී ඇත. 2016 වර්ෂයේ මෙම අනුපාතය ගත් කළ පසුගිය කාලයට ම දක්නට ලැබූ  අඩුම මරණ අනුපාතය  මෙය වේ.

 2016 වර්ෂයට සමඟාමී ව 2017 වර්ෂයේ මුල් කාලයේදී  ඩෙංගු රෝගීන්ගේ වාර්තා වීමේ වර්ධනයක් දක්නට ඇත.  2016 දෙසැම්බර් මාසයේදීත් මෙම වර්ධනය දක්නට ලැබුන බව පැවසූ වෛද්‍ය තිසේරා මහතා වැඩිදුරටත් පැවසුවේ, මේ වන විටත් ඒ තත්ත්වය එලෙස ම පවතින බවයි.  මෙම වැඩිවීම මේ ආකාරයට ඉදිරියටත් පැවතුනහොත්, විශේෂයෙන් නිරිත දිග මෝසම් ඇති වන  කාලවකවානුව වන විට (මැයි, ජූනි)  මෙයටත් වඩා  ඩෙංගු රෝගය වර්ධනය වීමේ අවදානමක් පවතින බවයි.

 මේ වර්ෂය සහ පසුගිය වර්ෂයේ ජනවාරි මාස සලකා බලන විට බොහෝ දුරට සමාන ඩෙංගු රෝගීන් ප්‍රමාණයක් වාර්තා වී ඇත.  මුළු දිවයිනේ ම 2016 ජනවාරි මස රෝගීන් 3000කට ආසන්න ප්‍රමාණයක් වාර්තා වූ අතර,  මේ වර්ෂයේ ජනවාරි මාසයේ 3500කට ආසන්න ප්‍රමාණයක් රෝගීන් වාර්තා වේ.  පසුගිය වර්ෂයේ ජනවාරි මාසයේදී මරණ 9ක් වාර්තා වූ අතර, එය මේ වර්ෂයේ දී 11ක් ලෙස වර්ධනය වී ඇත. මේ ආකාරයෙන් ඩෙංගු රෝගී තත්ත්වය වැඩිවීම කොළඹ, ගම්පහ, කළුතර, බස්නාහිර පළාත තුළ  දක්නට ඇති අතර, ඒ හා සමඟාමී ව විශේෂයෙන් ම ගාල්ල, හම්බන්තොට, ත්‍රිකුණාමලය, යාපනය, මඩකලපුව, මන්නාරම යන දිස්ත්‍රික්කවල ද හඳුනාගෙන ඇත.

 මේ වන විට වැඩි ම රෝගීන් වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙනි. එය 45% කි. මින් 1/3 පමණ කොළඹ දිස්ත්‍රික්කය තුළින් දක්නට ඇත. දැනට අවදානම් පළාත් හා දිස්ත්‍රික්ක ලෙස මේවා හඳුනාගෙන ඇත. 2016 වර්ෂයට සෞඛ්‍ය අමාත්‍යාංශය, ත්‍රිවිද හමුදාව, අනෙක්තු අමාත්‍යාංශ ඒකාබද්ධ ව පරිශ්‍ර පරික්ෂා කිරීම් ලක්ෂ 20කට ආසන්න  සංඛ්‍යාවක් සිදු කර ඇත.  එහිදී 10%ක්  මදුරුවන් බෝ වීමේ ප්‍රවණතා  ස්ථාන ලෙස හඳුනාගෙන ඇති අතර,  2%ක පමණ මදුරු කීටයන් හඳුනාගෙන ඇත. 

මදුරුවන් බෝ වන ස්ථාන ප්‍රධාන වශයෙන් කිහිපයක් මේ වන විට හඳුනාගෙන ඇත. ඒ අතර රජයේ හෝ වෙනයම් ආයතන, පාසල්, ගොඩනැගිලි ඉදිකරන ස්ථාන සහ කර්මාන්ත ශාලා ප්‍රධාන වේ. මේ ස්ථාන වල මදුරුවන් බෝ වීමේ වැඩි ප්‍රවණතාවයක් පවතින බව වෛද්‍ය තිසේරා මහතා පෙන්වා දුන්නේය. මෙම අවස්ථාවට මහජන සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය සරත් අමුණුගම මහතා ඇතුලු නිලධාරීන් රැසක් සහභාගී වී සිටියහ.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.