• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

මන්නාරම ධාන්‍ය ගබඩා සංකීර්ණය ගොවි අයිතියට

riceමෙම වර්ෂයේ අයවැය මගින් ඉදිරිපත් කළ තවත් යෝජනාවක් යථාර්ථයක් බවට පත් කරමින් මන්නාරම ධාන්‍ය ගබඩා සංකීර්ණය ලබන 26 වැනි දා මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ඇතුළු මැති ඇමැතිවරුන්ගේ ප්‍රධානත්වයෙන් ගොවි ජන අයිතියට පත් කිරීමට නියමිතය.

ලෝක බැංකු ආධාර මත රුපියල් මිලියන 264ක වියදමින් මන්නාරම නානාට්ටාන් ප්‍රදේශයේ ඉදි කෙරුණු මෙම ධාන්‍යාගාරය තුළ ධාන්‍ය මෙට්‍රික් ටොන් 10,000ක් එකවර ගබඩා කිරීමේ හැකියාව පවතී. වර්ග අඩි 21,586ක වපසරියකින් මෙම ගබඩා සංකීර්ණය සමන්විත ය. මෙමගින් ගොවීන් දහසකට පමණ ප්‍රතිලාභ හිමිවේ.

වී, මුං, කව්පි, සෝයා, රටකජු ආදී ධාන්‍ය මෙහි ගබඩා කළ හැකි ය.  කෘෂි කර්මාන්තයෙන් රට ස්වංපෝෂිත කිරීමේ රජයේ ප්‍රතිපත්තිය යටතේ අතිරික්ත ධාන්‍ය ගබඩා කිරීම සඳහා වන ගුදම් කුවිතාන්සි මූල්‍යකරණ ක්‍රමය තව දුරටත් ව්‍යාප්ත කිරීමට මෙමගින් අවස්ථාව හිමිවෙයි. ගලෙන්බිඳුණු වැව සහ බුත්තල ධාන්‍යාගාර දැනටමත් ක්‍රියාත්මක අතර, එහි තුන් වැන්න ලෙස මන්නාරම ධාන්‍යාගාරය විවෘත කෙරේ.

මීට අමතරව ඉදිරියේ දී කිළිනොච්චි සහ ඇඹිලිපිටිය යන ප්‍රදේශවල ද මෙවැනි ගබඩා ඉදි කිරීමට සැලසුම් කර ඇත. රජය ඊට වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 600කි. ප්‍රමාණවත් ගබඩා පහසුකම් නොමැතිවීම හේතුවෙන් වී ඇතුළු ධාන්‍ය වර්ග රැසක අතිරික්ත අස්වැන්න කෙරෙහි දැඩි බලපෑමක් සිදු වී තිබේ.

මේ සඳහා අස්වැන්න අතිරික්තයක් පවතින දිස්ත්‍රික්ක ඉලක්ක කර ගනිමින් මෙම ධාන්‍යාගාර ඉදිකිරීම ආරම්භ විය.මීට අමතරව මෙට්‍රික් ටොන් 5000 බැගින් ධාරිතාව ඇති සයිලෝ ගබඩා පහසුකම් ඇති කිරීමට ද 2017 අයවැය මගින් යෝජනා කර තිබේ.

ඒ සඳහා ආයෝජනය කිරීමට කැමැති මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන් සඳහා දිනකට අවම වශයෙන් මෙට්‍රික් ටොන් 50ක ධාරිතාවකින් යුතු වී මෝල් ඇතුළත් වන පරිදි සහනදායී ණය ක්‍රමයක් ක්‍රියාත්මක කෙරේ. ඊට වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 400කි.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.