• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

කාටවත් රට විකුණන්නේ නැහැ - අගමැති

PMමේ රට කිසිඳු රටකට විකිණීමට කටයුතු නොකරන බවත් ආයෝජන සඳහා අවස්ථාව ලබාදීම පමණක් සිදු කරන බවත් පෙන්වාදෙන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දියුණු වෙන සියලු රටවල් මෙලෙස ආයෝජන ක්‍රියාත්මක කරන බවත් පෙන්වා දුන්නේය.

 අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පෙන්වාදුන්නේ අද (25) මහරගම තරුණ සේවා සභාවේ පැවැති සිව්වැනි යොවුන් පාර්ලිමේන්තුවේ සමාරම්භක අවස්ථාවට සහභාගි වෙමිනි.


මේ වන විට ග්‍රාමීය ආර්ථිකය කඩාවැටීමකට ලක් ව ඇති බැවින් සියලු වැඩසටහන් ක්‍රියාත්මක කරන්නේ කඩා වැටී ඇති ආර්ථිකය නැවත ගොඩනගන්නේ කෙසේද කියා සොයා බලා ආර්ථිකය ශක්තිමත් කිරීමේ අරමුණින් බවත් පැවසීය.

"2020 වසරේ දී විදේශ ණය ගෙවීම සඳහා පමණක් ඩොලර් මිලියන 400ක් අවශ්‍ය වන බවත් මෙම ණය අනාගත පුරපුර වෙත දායාද කිරීමට තමන් හෝ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කිසිවිටෙකත් අඳහස් කරන්නේ නැහැ. මේ වන විට 16%හි පැවැති දළ දේශීය නිෂ්පාදිතය 10%ක් බවට අඩු වී තිබෙනවා. මේ වන විට පවතින තත්ත්වය අනූව ආර්ථික ප්‍රතිසන්ධාන කටයුතු සිදු කිරීම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා එක්ව සකස් කරමින් පවතිනවා. රැකියා උත්පාදනය හරහා එළැඹෙන දශක 11/2ක කාලය තුළ වැඩි ආදායමක් ලබාගැනීමට කටයුතු කරනවා. එමෙන් ම සංහිඳියාව ඇතිකිරීමේ වැඩපිළිවෙළක් ද සකස් කරමින් පවතිනවා. රට දියුණුව කරා රැගෙන යන්නට නම් රටේ ආර්ථික ක්ෂේත්‍රය දෙස බලා කටයුතු කළ යුතුයි" යැයි ද කීය.

රටේ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීමට ජාතීන් අතර එකමුතුවක් ඇතිකළ යුතුයි එමෙන් ම ලාංකික කියන හැඟීම සියලු දෙනා තුළ ඇති කිරීමට කටයුතු කළ යුතු යැයි ද පැවසූ අග්‍රාමාත්‍යවරයා මුලික අයිතිවාසිකම් තහවුරු කොට රටේ ඒකීයභාවය ආරක්ෂා කරමින් බලය බෙදාහැරීම සඳහා ව්‍යවස්ථා සම්පාදනය කිරීමට ව්‍යවස්ථා සම්පාදන සභාවක් නිර්මාණය කොට ඇතැයි ද පැවසීය.

රජය සියලු දේ ලබාදෙනතුරු නොසිට තමන්ගෙන් රටට විය යුත්තේ කුමක්ද කියා සිතා තරුණ ප්‍රජාව කටයුතු කළ යුතු බවත් දේශපාලන, ආර්ථික හා සමාජීය වශයෙන් අනෙක් රටවල් අභිබවා කටයුතු කළ නොහැකි බවත් ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා පැවසීය.

රටක් ලෙසින් අභියෝගයන්ට මුහුණ දෙමින් ඉදිරියට යමින් පවතින මෙම අවස්ථාවේ දී තරුණයන් ලෙසින් රට ගොඩනැඟීමේ වගකීම භාරගත යුතුව තිබෙන බවත් ජේ.ආර්. ජයවර්ධන මහතා විසින් හඳුන්වාදුන් විවෘත ආර්ථිකය හරහා සියලු දෙනාට සමාන අයිතිවාසිකම් හිමි වූ බවත් රාජ්‍ය අමාත්‍යවරයා කීය.

දේශපාලන අධිකාරියේ මැති ඇමැතිවරු ජාතික ඇඳුම ඇඳගෙන සිදුකරන විවිධ ක්‍රියාවන් නිසා ජාතික ඇඳුමට තිබූ වටිනාකම ගිලිහි ගොස් ඇති බවත් එලෙස ජාතික ඇඳුමට නැති වූ වටිනාකම නැවත ලබාදීමේ වගකීම යොවුන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පැවරෙන බව ජාතික තරුණ සේවා සභාවේ සභාපති නීතිඥ එරන්ද වැලිඅංගගේ මහතා පැවසීය.

වර්තමානයේ යම් යම් දේශපාලනඥයන් ජාතීන් අතර ප්‍රශ්න ඇතිකිරීමට කටයුතු කරමින් පවතින බවත් වීරත්වය තිබෙන්නේ මනුෂ්‍යත්වයේ මිස ආවේගයෙන් නොවන බවත් වැලිඅංගගේ මහතා පෙන්වා දුන්නේය.

රටේ පවතින්නේ පැසවූ තුවාලයක්. ඒ තුවාලෙට බෙහෙත් දමමින් සිටින්නේ. තුවාලෙට බෙහෙත් දානකොට රිදෙනවා. ඒ උණත් ඒ රිදෙන තුවාලය බෙහෙත් දමා සුව කළ යුතුයි යැයි ද වැලිඅංගගේ මහතා වැඩිදුරටත් පැවසීය.

මෙම අවස්ථාවේ දී යොවුන් පාර්ලිමේන්තුවේ කතානායකවරයා ලෙස සවින්ද දුලංජන, නියෝජ්‍ය කතානායක ලෙස තිලිණි මදුෂිකා මැදගොඩ, නියෝජ්‍ය කාරක සභා සභාපති ලෙස දේවවිදුරන් මහත්ම මහත්මීන් පත්කර ගැනීමෙන් අනතුරුව සිව්වැනි යොවුන් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් දිවුරුම් දීම සිදු කෙරිණි.

මෙම අවස්ථාවට අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා ඇතුළු විශාල පිරිසක් මෙන් ම යොවුන් පාර්ලිමේන්තුවේ කටයුතු නැරඹීම සඳහා පාසැල් දරුවන් පිරිසක් ද එක්ව සිටියහ.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.