• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

පෙබරවාරි මස 03 දා තොරතුරු පනත පිළිබඳ ගැසට් නිවේදනය නිකුත් කෙරේ (2)

Media ministry 2017.01.13" තොරතුරු දැනගැනීමේ පනත  ක්‍රියාත්මක කිරීමේ අභියෝගය පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යංශය වෙත පැවරී ඇති බවත්, ඒ සම්බන්ධයෙන් පෙබරවාරි මස 03 දා ගැසට් නිවේදනයක් නිකුත් කරන බවත්, අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂම හමුවේ පැවසීය.
 
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාවේ සභාපතිවරයා ඇතුළු සාමාජිකයින් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා, නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතා, පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් නිමල් බෝපගේ මහතා ඇතුලු පිරිස අතර  විශේෂ හමුවක් පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පසුගිය දා පැවැත්විණි.

"විනිවිද පාලනයක්, දූෂණ අවම කරගතහැකි  අවස්ථාවක්, රටේ මුදල් යම් කටයුත්තකට යෙදවූ පසුව ඒවා ක්‍රියාත්මක වුනු ආකාරය පිළිබඳ ව රටේ ජනතාවට දැනගැනීමට වගේම රටේ ඕනෑම තොරතුරක් ජනතාවට අවශ්‍ය වූ විට එය දැනගැනීමට හැකියාව තොරතුරු දැනගැනීමේ පනත හරහා රටේ සියලු ජනතාවට සමානව ලැබෙනවා. පනත ක්‍රියාත්මක කිරීමේ අභියෝගය පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යංශය වෙත පැවරී තිබෙනවා.

ඒ වගේම තොරතුරු ලබාගැනීමේ අවස්ථාව ජනතාවට උදාකර දෙන්නට පෙබරවාරි මස 03 දා ගැසට් නිවේදනයක් නිකුත් කරනවා. ඊට පසුව මේ පනතට අනුව සෑම පුරවැසියකටම අයිතිය ලැබෙනව තමන්ට අවශ්‍ය තොරතුරක් ඕනෑම රාජ්‍ය ආයතනයකින් ලබාගැනීමට. " යයිද  ජනමාධ්‍ය අමාත්‍යවරයා තවදුරටත් පැවසීය.

කොමිසමෙහි සාමාජිකයින් ගණන 05කි. එහි සභාපතීත්වය මහින්ද ගම්මන්පිල මහතා දරන අතර, සෙසු කමිටු සාමාජිකයින් වන්නේ කීශාලි පිංතෝ ජයවර්ධන, එස්. ජී. පුංචිහේවා, ඒ.ඩබ්.ඒ මලාම්, සිල්වි තිරුචන්ද්‍රන් යන මහත්ම  මහත්මීන්ය.

මෙහිදී තවදුරටත් අදහස් දැක්වු  අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා,

" විශේෂයෙන් අපේ රජය පත්වෙලා ජනතාවට දුන් පොරොන්දුවක් තමයි තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පණත හදුන්වා දී ඒ මගින් ජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතිය ආරක්ෂා කරනව කියක එක. අපි පසුගිය වසරේ අගෝස්තු මස 04 දා තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරල මන්ත්‍රීවරු 225 දෙනාගේම එකගතාවයෙන් ඒකච්ඡන්දයෙන් සම්මත කරගත්තා. ඒ පනත සම්මත වන විටම පනතේ සඳහන් කරල තිබෙනව පාර්ලිමේන්තුවේ සම්මත වී මාස 06ක් ඇතුලත පනත ක්‍රියාත්මක කල යුතු බව.

අප මූලික වශයෙන් අමාත්‍යංශ ලේකම්වරුන් ඇතුලු ආයතන ප්‍රධානීන් දැනුම්වත් කිරීම් සිදුකලා. දිස්ත්‍රික්ක ලේකම්වරුන්, ප්‍රාදේශීය ලේකම්වරුන් ඇතුළු පළාත්සභා වල ලේකම්වරුන් අපි දැනුම්වත් කලා. ඒ වගේම මාධ්‍යවේදීන්, විශේෂයෙන් ප්‍රාදේශීය මාධ්‍යවේදීන් සඳහා වැඩමුළු පවත්වල ඒ කාර්යය සිදුකලා. තවත් කිහිපයක් ඉදිරි සතිය තුළ පවත්වනවා."

" දැන් මේවන විට අමාත්‍යංශ සියල්ලගෙන් ම, ආයතන සියල්ලගෙන් ම පාහේ තොරතුරු නිලධාරීන් තෝරාගෙන නම් කරල තිබෙනවා. අපි බලාපොරොත්තු වෙනව ඒ සියලු ම දෙනාට මේ පිළිබඳ ව පුහුණුවක් ලබාදෙන්න. සියලු ම තොරතුරු නිලධාරීන් එක් තැනකට ගෙන්වා පනත පිළිබඳ ව පැහැදිලි කිරීම් සිදුකොට ඔවුනට ඒ පත්වීම පිරිනැමීමටත් අප බලාපොරොත්තු වෙනවා. ඒ වගේම පෙබරවාරි මස 03දා යින් පසුව රට පුරා සියලු ම රාජ්‍ය ආයතන වල මේ කටයුතු ක්‍රියාත්මක කිරීමට අප බලාපොරොත්තු වෙනවා. "

" තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පනත හඳුන්වා දීමට හැකිවීම පිළබඳවත්, ඒ පනත පාර්ලිමේන්තුවේ සම්මත කිරීමට හැකිවීම පිළිබඳවත් මාස හයකින් ඒ පනතින් ජනතාවට තොරතුරු දැනගැනීමට අවශ්‍ය වටපිටාව සකස්කර දී ඒ සඳහා පහසුකම් සම්පාදනය කිරීමට හැකිවීම පිළිබදවත් අප සතුටු වෙනවා. ඒ වගේම තොරතුරු දැනගැනීමේ පනත පිළිබඳ කොමිෂම මේ සියලු කරුණු සම්පාදනය කරගෙන මෙමගින් සියලු ජනතාවට යථාර්ථයක් බවට මේ පනත පත් කිරීමට, මෙය පොදු ජනතාවට ප්‍රයෝජනවත් තැනක් බවට පත්කිරීමට අදාළ සියලු කටයුතු ඉතා උනන්දුවෙන් නිශ්චිත කාලයට අනුව ඉටු කර ඒ ඓතිහාසික අවස්ථාව අප ලඟා කර ගෙන තිබෙනවා. "

"මේ පනතේ පැහැදිලිව සඳහන් වෙනවා ජනතාවට ලබාගත හැකි තොරතුරු මොනවද?  ඒ වගේම යම් යම් තොරතුරු තිබෙනවා ජාතික ආරක්ෂාවට යම් අයුරකින් තර්ජනයක් වෙනව නම් තොරතුරු ලබාදෙන්න පුලුවන් කමක් නැහැ. ඒ වගේම පෞද්ගලික තොරතුරු, යම් කෙනෙකුගේ වෛද්‍ය වාර්තා වගේ දේවල් වගේ ඒවා ලබාදීමට හැකියාවක් නැහැ. මේ පනත පිළිබඳව දැනුම්වත් කිරීම් අප මූලික වශයෙන් සිදුකලේ රාජ්‍ය නිලධාරීන්ට. ඒ වගේම මාධ්‍යවේදීන්ට. දැන් අපි විවිධ ක්‍රම වලට මෙය ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳ ව රටේ ජනතාව දැනුම්වත් කිරීමට අප බලාපොරොත්තු වෙනවා. මේ පනතේ නිසි ප්‍රයෝජනය ලැබීමේ වාසනාව හිමිවන්නේ රටේ ජනතාවටයි. පුරවැසියාටයි. මේ පනතේ වාසිය හිමිවන්නේ. පෙබරවාරි 03දා යින් පසුව ටිකෙන් ටික ජනතාව මේකට හුරුවෙයි. මේ පනතින් තමන්ට හිමිවන වාසිය කුමක්ද කියල අවබෝධකර ගනීවි. ඉන් පසු දිගින් දිගට ම නිසි ප්‍රයෝජන ලබන්න හැකිවෙනවා. "

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.