• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

ගුවන් විදුලි සංස්ථාවේ පනස් වන සංවත්සර උළෙල ජනපති ප්‍රධානත්වයෙන්

HE 20170106ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව පිහිටුවා වසර පනහක් පිරීම, අලුතින් ඉදිකළ නව පරිපාලන ගොඩනැගිල්ල විවෘත කිරීම සහ ප්‍රතිසංස්කරණය කරන ලද මැදිරි සංකීර්ණය විවෘත කිරීම වෙනුවෙන් සංවිධානය කළ උත්සවයක් ඊයේ (05) පස්වරුවේ ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ගුවන්විදුලි සංස්ථා පරිශ්‍රයේදී පැවැත්විණි.

ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා විසින් ගුවන් විදුලි සංස්ථා භූමියට පැමිණි ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පිළිගත්තේය. ගරු ජනාධිපතිතුමා නව පරිපාලන ගොඩනැගිල්ල විවෘත කිරීම සංකේතවත් කරමින් සමරු ඵලකය නිරාවරණය කළ අතර ගුවන් විදුලි සංස්ථා නව පරිපාලන ගොඩනැගිල්ල හා ප්‍රතිසංස්කරණය කළ මැදිරි සංකීර්ණය ද විවෘත කළේය.

අනතුරුව නව මැදිරි සංකීර්ණය ජනාධිපතිතුමාගේ නිරීක්ෂණයට ලක්විය. ගුවන් විදුලි සංස්ථාව පිහිටුවා වසර පනහක් සපිරීම වෙනුවෙන් නිකුත් කළ සමරු මුද්දරය සහ මුල්දින කවරය තැපැල්, තැපැල් සේවා සහ මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය අබ්දුල් හලීම් මොහොමඩ් හෂීම් මහතා විසින් ගරු ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීය. පූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර, පූජ්‍ය කොටුගොඩ ධම්මාවාස නායක ස්වාමින් වහන්සේලා ප්‍රමුඛ මහා සංඝරත්නය ද, අමාත්‍යවරුන් වන ගයන්ත කරුණාතිලක, අබ්දුල් හලීම්, නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන, ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් නිමල් බෝපගේ, ගුවන් විදුලි සංස්ථාවේ සභාපති නන්ද මුරුත්තෙට්ටුවේගම මහතා ඇතුළු කාර්ය මණ්ඩලය මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ශ‍්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ පනස් වෙනි සංවත්සරයේදී ජනාධිපති ගරු මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා කළ කතාව – 2017.01.05 වන දින ප.ව.3.00 ට ශ‍්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේදී    ශ‍්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ 50 වෙනි සමරුව පවත්වන අවස්ථාවේ මේ වැදගත් අවස්ථාවට සහභාගි වීමට ලැබීම ගැන මා ඉතාමත් සතුටු වෙනවා. එහා පැත්තේ නව ගොඩනැගිල්ල විවෘත කරලා මේ පැරණි ගොඩනැගිල්ල ඇතුළට එන ගමන් සභාපතිතුමා අර ඇතුළු වෙන තැනම තිබෙන 1967 ජනවාරි මාසේ පස් වෙනිදා අග‍්‍රාමාත්‍ය ඩඩ්ලි සේනානායක මැතිතුමා ගුවන් විදුලි සංස්ථාවක් බවට නම් කිරීමේ උළෙලට පැමිණි සමරු ඵලකය මා වෙත පෙන්නුවා. මහනායක හාමුදුරුවනේ මගේ හිත ඇදී ගියේ ඒ සමරු ඵලකය දකිනවත් එක්කම ගුවන් විදුලි සංස්ථාවේ ඉතිහාසයේ මතක සටහන් සිතට එක් වෙනවා වගේම ඩඩ්ලි සේනානායක මැතිතුමා මා මුලින්ම දැකපු දවස පිළිබඳවයි. ඒ 1965 මහමැතිවරණය වෙලාවේ එතුමා පොළොන්නරුවේ එතුමාගේ ජනහමුවට පැමිණි වෙලාවේ මම වයස අවුරුදු 14 ක දරුවෙක් විදියට කොට කලිසමකුත් ඇඳගෙන ඇවිල්ලා ඒ කාලේ වයසට දේශපාලනයක් පක්ෂයක් මුකුත් නැහැ. රැස්වීමක් කොහෙද, උත්සවයක් කොහෙද, දුව ගෙන ගිහින් අයිනකට වෙලා බලාගෙන ඉන්නවා. ඩඩ්ලි සේනානායක මහත්මයත් එනවා කිව්වාම අපි ගිහිල්ලා බලාගෙන හිටියා. එතුමා කාරෙකෙන් බැහැලා කැමරාවක් කරේ දාගෙන ලස්සන හිනාවක් දක්වලා වේදිකාවට ගොඩවුණු හැටි මට අද වගේ මතකයි. ඒවගේම මේ රටේ සිටි ඉතාම අවංක ශ්‍රේෂ්ඨ ජනනායකයෙක් විසින් මීට වසර 50 කට පෙර ආරම්භ කළ ගුවන් විදුලි සංස්ථාවේ වසර පනහක් නැත්නම් දශක 05 ක ගමන් මග අපි දන්නවා ඉතාමත් විශිෂ්ට ගමන් මගක්.

ශ‍්‍රී ලංකා ගුවන් විදුලි සේවය පිළිබඳව කතා කරන විට ඒ ඉතිහාසයේ අමතක නොවන සිද්ධීන් වගේම අපේ ශ‍්‍රී ලාංකික සමාජයට දැනුම අවබෝධය ශාස්ත‍්‍රීය ඥානය ඇතුළු යහපත් සමාජයක් ගොඩනැගීම සඳහා ගුවන් විදුලි සේවාව ඉතාමත්ම විශිෂ්ට මෙහෙවරක් සිය යුග මෙහෙවරක් විදියට ගෙවී ගිය දශක කිහිපය තුළ මේ රටේ ඉටු කර තිබෙනවා. 50 දශකය 60 දශකයේ විශේෂයෙන්ම ඡන්ද කාලවලදි අපි කුඩා කාලේ රෑ ඉඳන් එළිවෙනකම් ඡන්දේ අහන කොට තිබුණේ ගුවන් විදුලිය විතරයි. රූපවාහිනිය නෑ. ජංගම දුරකථන නෑ. පරිගණක නෑ. ගුවන් විදුලියක් තියෙන්නේ සමහර වෙලාවට ගමක ගෙදරවල් එකක, දෙකක, තුනක, තමයි. ඒ කාලේ මට හොඳට මතකයි මහා නායක හාමුදුරුවනේ පාන්දර දෙක තුන වන විට මේ කොළඹින් ඈත තියෙන ගුවන් විදුලි රටේ ඈත තියෙන ඒවා සේරම කුරු කුරු ගාන්න පටන් ගන්නවා. ඇහෙන්නේ නැතිව යනවා. ඡන්ද ප‍්‍රතිඵල හොඳට එන වෙලාව. දිනන පැත්තේ අය සතුටු වෙන වෙලාව. පරදින පැත්තේ අය රේඩියෝ අහන වෙලාව. කෙසේ වෙතත් ඒ තාක්ෂණික ඉතිහාසයත් ශාස්ත‍්‍රීය ඉතිහාසයත් ගුවන් විදුලි සේවාවේ ඉතාමත්ම විශිෂ්ට ගුණාත්මක සේවාවන් සමග අපි අද නව ගොඩනැගිල්ලක් විවෘත කළා වගේම මේ කටයුතු සමරන අවස්ථාවක්.

මට මේ වෙලාවේ මතක් වුණා පසුගිය දවසක මාව හම්බ වෙන්න ආවා කලාකරුවන්, ශිල්පීන් ශිල්පිනියන්. මේ රටේ ඉතාම ජනප‍්‍රිය කණ්ඩායමක්. ඇවිල්ලා මට පැමිණිල්ලක් ඉදිරිපත් කෙරුවා. ජනාධිපතිතුමා අපි හැම ආණ්ඩුවකටම කිව්වා. ඔබතුමාටත් මේක කිව්වා විතරක් වෙයිද දන්නේ නැහැ. මේ රටේ ජනමාධ්‍ය හැමකෙනෙක්ම මුද්‍රිත විද්‍යුත් මේ කවුරුත් දූෂණ, වංචා, මංකොල්ලකෑම් ගැන කතා කරනවා. නමුත් උදේ ඉඳන් ? වෙනකම් ඒ කතා කරන අයයි, ඒ කතා කරන අයගේ අයිතිකාරයොයි කරන ලොකුම මංකොල්ලය තමයි මේ රටේ බුද්ධිමය දේපල මංකොල්ල කෑම කියලා. අපේ දුප්පත් අසරණ ගායක ගායිකාවන්, ශිල්පීන් ශිල්පිනියන් විවිධ ක්ෂේත‍්‍රවල වයස් ගත වෙලා අසරණ වෙලා ගෙවල් දොරවල් වල කොච්චර අමාරුවෙන් තමන්ගේ ජීවිතය ගෙවනවද කියලා අපි දන්නවා. 

 තමන්ට පුළුවන් කාලේ තමන් පෙන්වපු දක්ෂකම්, ශාස්ත‍්‍රීය දැනුම, රසඥතාවය, සමාජයට දුන්න ගුණාත්මකභාවය ඒ සියල්ල ගැබ් වෙලා තිබෙන බුද්ධිමය දේපල පිළිබඳව මේ රටේ එක් පැත්තකින් තිබෙන නීතිය ක‍්‍රියාත්මක නොවීම අනික් පැත්තෙන් නීති රීතිවල තිබෙන අඩුපාඩුව. එක් පැත්තකින් රාජ්‍ය අංශයත් යම් ප‍්‍රමාණයක මේ මංකොල්ලයේ ඉන්නවා. පෞද්ගලික අංශය, රාජ්‍ය නොවන අංශය ඉතාම ඉහළ විදියට බුද්ධිමය දේපල මංකොල්ලයේ ඉන්නවා. හොඳ ගායක, ගායිකාවකගේ ගීතයක් ප‍්‍රචාරය කරපුවහම ඒකට ඉඩක් දෙන්නේ නැහැ. කීයක් හරි ඒකට තුටු පඬුරක් විදියට හරි ගෙවන්නේ නැතිව ඒ මංකොල්ලය සිදුකරන ආකාරය තමයි මාත් එක්ක එදා ඒ අය කතා කළේ.    ගුවන් විදුලි සංස්ථාවට වසර 50 ක් පිරෙන දවසේ එය සමරන වෙලාවේ මේ රටේ ගුවන් විදුලි සංස්ථාවේ ගුණාත්මකභාවය විශිෂ්ටත්වය මෙයින් සමාජයට වෙන ඉතාමත් උතුම් වූ මෙහෙවර පිළිබඳව ශාස්ත‍්‍රඥයින්, පඬිවරුන්, කලාකරුවන්, ශිල්පීන් ශිල්පිනියන් විවිධ ක්ෂේත‍්‍රවල ප‍්‍රවීණයන් ඔවුන්ට අප විසින් කළ හැකි කළ යුතු ගෞරවයක් සහ දායාදයක් විදියට ජනමාධ්‍ය ඇමතිතුමාටත් අමාත්‍යාංශයේ ලේකම්තුමා නියෝජ්‍ය ඇමතිතුමා මෙතන ඉන්නවා. මේ බුද්ධිමය දේපල මංකොල්ලකෑම පිළිබඳව අපේ ආණ්ඩුව විදියට වහ වහා ඒ අවශ්‍ය නීති ප‍්‍රතිසංස්කරණය කිරීම, විධිමත් කිරීම ඒ වගේම අඩුපාඩුකම් තිබෙනවා නම් අලුත් නීති රීති සැදීම ඉතාම අවශ්‍යයි කියන එක මම යෝජනා කරනවා.

ඒ නිසා අද වගේ දවසක එවැනි කාර්යයට අත තිබෙනවා නම් ආරම්භයක් කරනවා නම් ඉතාමත් හොඳයි කියලා මම විශ්වාස කරනවා.    ජනමාධ්‍ය අමාත්‍යාංශයට පුළුවන්කම තිබෙනවා මේ රටේ සියලු මාධ්‍ය ආයතනවලට දන්වන්න මාධ්‍ය නොවන අනිකුත් ආයතනවලට බුද්ධිමය දේපල පිළිබඳව වගකීමක් දරන සෑම කෙනෙකුටම දන්වන්න මේ පිළිබඳව තමන්ගේ අවධානය යොමු කරලා නීතිය, චක‍්‍රලේඛ, ව්‍යවස්ථාව කෙසේ වෙතත් සැබෑ ලෙසම මනුෂ්‍යත්වය තුළ කටයුතු කරන්නයි කියන ඒ දැනුම් දීමක් කරන්නැයි කියලා මම විශේෂයෙන්ම ඉල්ලීමක් කරනවා.    අපේ රටේ ගුවන් විදුලි සංස්ථාවේ ඒවගේම ගුවන් විදුලි සේවාවේ සේවය පිළිබඳව අපි හැම කෙනෙක්ම දන්නවා. අද අපි මාධ්‍ය පිළිබඳව කත කරනවා. හාමුදුරුවනේ උදේ පාන්දර පහමාරේ, හයේ විතර ඉඳලා අට අටහමාර වෙනකන් අපේ රටේ සාමාන්‍ය ජනතාව එක් පැත්තකින් පාසැල් දරුවෝ පාසැලට එනවා. පාසැල් වෑන් රථයක. පාසැල් බස් රථයක. නැත්නම් අම්මාගේ තාත්තාගේ පුද්ගලික වාහනයක. ඒවගේම රාජ්‍ය සේවකයින්, රාජ්‍ය නිලධාරීන් තමන්ගේ කටයුතුවලට පොදු හෝ පෞද්ගලික වාහනවල එනවා. ඒවගේම අනික් ව්‍යාපාරිකයෝ වෙන්න පුළුවන්, දේශපාලනඥයෝ වෙන්න පුළුවන් හැම කෙනෙකුගේම ඔය වෙලාවට ඇසට වඩා කනට තමා ඇහෙන්නේ මාධ්‍ය.

ඒ කාලසීමාව ගත්විට උදේ හැම කෙනෙක්ම හොඳ නැවුම් බවකින් සිටින වෙලාවක්. ඉගෙන ගන්න යන පාසැල් ශිෂ්‍යයා, විභාගේ හොඳට පාස් කිරීම වැනි තමන්ගේ අනාගතය පිළිබඳව බලාපොරොත්තු රාශියක් ඇතිව යනවා. රාජ්‍ය සේවයට යන රාජ්‍ය සේවකයා ඉතාම නැවුම් බවකින් පිබිදීමකින් යනවා. දවසේ කාර්යාලයේ තමන්ගේ වැඩ ටික කරන්න. ව්‍යාපාරිකයින් දේශපාලනඥයිනක් සහ අනිකුත් ක්ෂේත‍්‍රවල නායකයින් යනවා තමන්ගේ වගකීම් සහ යුතුකම් පිළිබඳව දවසේ කළ යුතු කාර්යයන් නිසි ලෙස ඉටු කරලා රට වෙනුවෙන් තමාගේ කාර්යය ඉෂ්ට කරන්න. නමුත් ඔය කාලය ගත්තහම උදේට ගුවන් විදුලිවල ඇහෙන දේවල්, බණ පිරිත් වලින් පස්සේ නායක හාමුදුරුවනේ හරිම කණගාටුයි.    ද්වේෂය, වෛරය, ක්‍රෝධය, ඊරිසියාව, පළිගැනීම, ගැටුම් මේවා තමයි ගුවන් විදුලියේ උදේට යන්නේ. එක් එක්කෙනාගේ ශබ්ද කොටස් වශයෙන් ගත්ත ඒවා. සෑම ක්ෂේත‍්‍රයකම විද්‍යුත් මුද්‍රිත මාධ්‍යවල විශේෂයෙන්ම පත්තර කියවන අය විද්‍යුත් මාධ්‍යවල මුද්‍රිත මාධ්‍ය කියවන අය ප‍්‍රවෘත්තිය හුඟක් අය කියවනවා විතරක් නෙවෙයි, ප‍්‍රවෘත්තිය විග‍්‍රහ කරනව, ප‍්‍රවෘත්තිය විග‍්‍රහ කරන්න ගියාම අහන කෙනාට දැනෙනවා එයා මොන පැත්තේ එක්කෙනෙක්ද කියලා. ප‍්‍රවෘත්තිය නෙවෙයි වෙන දෙයක් කියවන්නේ. බොහෝ වෙලාවට ඒ තුළ සමාජයට යහපත් දේ වගේම අයහපත් දේ තිබෙනවා. විශේෂයෙන්ම සුන්දර උදෑසනක පාසැල් දරුවාගේ සිට සමස්ත පුරවැසියාට ඒ උදෑසන දිය යුතු පණිවුඩය වන්නේ තමගේ ජීවිතය වගේම තමාගේ රට මාතෘභූමිය ගොඩනගා ගැනීම සඳහා ඉතාමත්ම සුබවාදී වූ ශ්‍රේෂ්ඨ පණිවුඩ යැයි කියා මා විශ්වාස කරනවා.

අසුබ දේ අසීලාචාර දේ ශිෂ්ටත්වය බැහැර වූ දෙය අවිචාර දෙය දැඩි ක්‍රෝධය වෛරයට පාත‍්‍ර වන්නා වූ දෙය මේ සුන්දර උදෑසනක පාසැල් දරුවාගේ සිට රටේ සමස්ත පුරවැසියාගේ කණට වැටීම බැහැර කිරීම නම් ඉතා අත්‍යවශ්‍ය දෙයක්. මේවාට නීති නැහැ. මේවාට තිබෙන්නේ සදාචාර සම්පන්න සමාජයක ජනමාධ්‍යයේ වගකීම ඉෂ්ට කිරීමයි කියන එකයි මා විශ්වාස කරන්නේ. ඒ වගකීම ඉෂ්ට කරන්න සෑම කෙනෙකුටම වගකීමක් වගේම යුතුකමක් තිබෙනවා.    නව වසර විදියට මීට දවස් කිහිපයකට කලින් මම ජනාධිපති ලේකම් කාර්යාලයේදී අපේ අනාගත වැඩපිළිවෙළ විදියට රට සහ රටේ ජනතාව වෙනුවෙන් තිරසර සංවර්ධනයේ, ජාතික ප‍්‍රතිපත්තිය සහ ජාතික සැලසුම් පිළිබඳව ප‍්‍රකාශනයක් කළා.    මේ 2017 අවුරුද්ද මේ රටේ සංවර්ධනයේ පරිවර්තනීය වර්ෂයක්. මේ 2017 විප්ලවීය වර්ෂයක්. අපි සැලසුම් කරපුවා, ප‍්‍රතිපත්ති සකස් කරපුවා, ක‍්‍රියාත්මක කරමින් ජාත්‍යන්තර සහයෝගය ලබා ගෙන දේශීය, විදේශීය උගතුන්, බුද්ධිමතුන්, ව්‍යාපාරිකයින්, ආයෝජකයින් සියලු ක්ෂේත‍්‍රවල ඔවුන්ගේ සම්පත් ඥාණය, ශාස්ත‍්‍රීය දියුණුව, දැනුම විවිධ ක්ෂේත‍්‍රවල ඔවුන්ගේ බහුශ‍්‍රැතභාවය විද්‍යාඥයින්ගේ මේ සෑම කෙනෙකුගේම සිය වගකීම් සහ යුතුකම ජාතිය වෙනුවෙන් ඉටු කරන්න. මේ 2017 ඉතාමත් සුබවාදී වර්ෂයක්. ඒ නිසා අපි රජයක් විදියට අධිෂ්ඨානශීලීව ඒ උතුම් කාර්යය සඳහා කැප වෙනවා.    මේ දිනවල රජය පිළිබඳව බොහෝ විවේචන අපිට ඇහෙනවා. ඒ විවේචන කවදත් ඇහෙනවා. 2017 ආරම්භයේදී සමහර අය කියනවා මේ ආණ්ඩුව හෙට අනිද්දා පෙරළනවයි කියලා. සමහර අය කියනවා හොල්ලනවා කියලා.

ඒවගේම අපි ආණ්ඩු විදියට කියන විට අලුත් වැඩපිළිවෙළකින් රට ගොඩනගන්න 2017 අධිෂ්ඨානශීලීව පරිත්‍යාගශීලීව රට සහ ජාතිය වෙනුවෙන් ඉස්සරහට යනවයි කියලා. මේ යන ගමන වැරදියි කියලා බොහෝ විවේචන වගේම ආණ්ඩුව පෙරළන කතා අපිට ඇහෙනවා. මම බොහොම පැහැදිලිව කියන්නට ඕනෑ ඒ සිහින දකින අයට ජනතාවගේ කැමැත්තෙන් 2020 න් එහා මිසක් අලුත් ආණ්ඩු හදන්න අලුත් ආණ්ඩුවකට නීතිවිරෝධී ලෙස ව්‍යවස්ථා විරෝධී ලෙස ආණඩු පෙරළන්න, ආණ්ඩු කුමන්ත‍්‍රණ කරන්න නම් කොහෙත්ම ඉඩකුත් නැහැ. ඉඩක් ඇති කරන්නෙත් නැහැ. ඉඩක් මම දෙන්නෙත් නැහැ කියන එක බොහෝම පැහැදිලිව සඳහන් කරන්නට ඕනෑ.

ඒ මොකද ආණ්ඩුවක් බලයට පත් වුණාම මොන දේශපාලන පක්ෂය හෝ වේවා ඒ ආණ්ඩුවකට කටයුතු කර ගෙන යන්න ඉඩ දෙන්න ඕනෑ. ඒකට අවශ්‍ය සහයෝගය දෙන්න ඕනෑ. මැතිවරණයක් එන වෙලාවට ජාතික මැතිවරණයකදි ජනතාවගේ අවශ්‍යතාවය අනුව ජනතාවට පුළුවන්කම තිබෙනවා, තිබෙන ආණ්ඩුව එසේම දික් කර ගැනීම හෝ අලුත් ආණ්ඩුවක් පත් කර ගැනීම. එහෙම නැතිව එක් එක් කෙනාගේ ඔළුවල තිබෙන නොයෙකුත් විෂවලට එක එක විෂාධි අදහස්වලට එක එක්කෙනාගේ තිබෙන පටු චේතනාවලට බලය පිළිබඳව තිබෙන කෑදරකම්වලට බලය පිළිබඳව බලයේ වරප‍්‍රසාද ඉතාමත්ම වැරදි ලෙස පාවිච්චි කරලා බලයේ රසය ඉතාමත් වැරදි ලෙස පරිභෝජනය කළ අයට එවැනි ආකාරයේ කටයුතු කරන්න තවම නැවත වරක් ඉඩක් නැහැයි, කියන එක මම බොහෝම පැහැදිලිව කියන්නට ඕනෑ. 

   මහනායක හාමුදුරුවනේ මේ දිනවල මේ හම්බන්තොට වරාය ඒවගේම කර්මාන්තපුරය පිළිබඳව මහාඋද්ඝෝෂණ තිබෙනවා. මම දන්නවා සමහර අය ඔබවහන්සේලාත් මුණගැහෙන්න එන්න ඇති. ත්‍රෛනිකායික මහ නායක ස්වාමීන් වහ්නසේලා හම්බ වෙලා මේ පිළිබඳව ඉතා වැරදි අදහස් ඉදිරිපත් කරලා තිබෙනවා. මේ රටේ මාධ්‍ය හරහා ජනතාවට ඉතාමත් වැරදි ආකාරයට මෙය විග‍්‍රහ කරනවා. මම බොහෝම පැහැදිලිව කියන්නට ඕනෑ මීට අවුරුදු 02 කට කලින් මේ රටේ ජනතාවගේ ප‍්‍රධාන සේවකයා විදියට ජනතාව මාව තෝර ගත්තේ මම ගැන විශ්වාසයකින්. ඒ විශ්වාසය රට සහ එහෙම නැත්නම් මාතෘභූමිය සහ ජනතාව වෙනුවෙන් කිසිලෙසකත් මම කඩකරන්න ඉඩ තියන්නේ නැහැ. ඉඩ දෙන්නෙත් නැහැ. මේ හම්බන්තොට වරාය සහ කර්මාන්තපුරය සම්බන්ධයෙන් තවම ඔය කතා කරන ගිවිසුම හදලත් නැහැ. මේ සඳහා තාක්ෂණික ඇගයීම් කමිටුවක් පත් කරලා තාක්ෂණික ඇගයීම් කමිටුවේ වාර්තාව තවම නැහැ. අමාත්‍යාංශ ලේකම්වරුන් තුන් දෙනෙකුගෙන් පත් කළ අමාත්‍යාංශ ලේකම්වරුන්ගේ කමිටු වාර්තාව තවම ඔවුන් අතින් එළිදැක්විලා නැහැ.

07 වෙනිදාට මේ ගිවිසුමක් අත්සන් කරනවයි කියලා ඉතාම අසත්‍ය ප‍්‍රචාරයක් යනවා. අත්සන් කරන්න ගිවිසුමක් තවම හදලා නැහැ. එවැනි එකඟතාවයන් රටට ගැලපෙන ආකාරයේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට ගැලපෙන ආකාරයට ඔබේ අපේ උතුම් මාතෘභූමියේ ගරුත්වය උරුමය ආරක්ෂාව භාරකාරත්වය වගකීම සියල්ල සුරැකෙන ආකාරයට තමයි මම විශේෂයෙන්ම විදේශීය රටවල් රාජ්‍යයන් ආයතන සමග අපේ රට කුමන හෝ ක්ෂේත‍්‍රයක් සඳහා යම් කිසි එකඟතාවයක් ගිවිසුමක් ඇති කරනවා නම් ඇති කර ගන්නේ. කිසිම තැනක රහස් නැහැ. ආණ්ඩුවක් විදියට වැඩ කරන කොට. ඒ රහස් නැති ආණ්ඩුවක් විදියට මෙවැනි විශේෂයෙන්ම රටේ සංවර්ධනයට දායකත්වය දෙන ඉතාම පුළුල් ආයෝජනවලදි අපි කටයුතු කරන්නේ ඉතාමත්ම ඉහළම විවෘතභාවයකින්. මම උපදෙස් දීලා තිබෙනවා ඒ ගිවිසුම් නීති අංශවලින් රටට ගැලෙපන විදියට, ව්‍යවස්ථාවට ගැලපෙන විදියට, රටේ ගෞරවය ආරක්ෂා වෙන විදියට මූලික කටයුතු සකස් කළාට පස්සේ නීතිපතිවරයාට ඉදිරිපත් කරලා, අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරලා, මහ නායක හාමුදුරුවනේ පාර්ලිමේන්තුවටත් ඉදිරිපත් කරලයි, මේ එකඟතාවයන් ඇති කරගන්න අත්සන් කරන්නේ කියන එක ඉතාම පැහැදිලිව මම සඳහන් කරන්නට ඕනෑ. ඒ නිසා රට පිළිබඳව වගකීමක් යුතුකමක් තිබෙන සෑම කෙනෙක්ම අද නව ලෝකයේ නව තාක්ෂණයත් සමග විශේෂයෙන්ම වාණිජ්‍ය සමාජය මේ සියල්ල අපි තේරුම් ගැනීම අවශ්‍ය වෙනවා. 

 අපි විශාල ණය අර්බුදයක ඉන්නවා රටක් විදියට. විශාල ආර්ථික අර්බුදයක ඉන්නවා. ඒක රහසක් නොවෙයි. ඒ ආර්ථික අර්බුදයෙන් ගොඩඑන්න අපි අපේ දේශීය කර්මාන්ත විශේෂයෙන්ම, දේශීය වශයෙන් අපි අගය කරන සියලු දේ අපි වඩ වඩා වර්ධනය කිරීම අත්‍යවශ්‍යයි වගේම නව ලෝකයේ නව තාක්ෂණයත් සමග අපි සමග සියලු රාජ්‍යයන් මිත‍්‍රයි. ලෝකයේ සියලු රටවල්වල විශේෂයෙන්ම ඔවුන්ගේ දැනුම අපි ලබා ගත යුතු වෙනවා. අපට අවශ්‍ය වන්නේ විදේශයන්ගේ සම්පත් සහ දැනුම පමණයි. ඒ සම්පත් සහ දැනුම ලබා ගැනීමේදී අප ඉතාම ඉහළ වගකීමක් කටයුතු කරනවා. ඒ නිසා මේ සියලු කටයුතුවලදි ඉතාම ඉහළ විවෘතභාවයකින් කටයුතු කරලා රටක් විදියට අපි යායුතු ගමනේ ඒ උතුම් ගමන යන්න අපිට පුළුවන්කම තිබෙනවා. මේ රටේ අද නව පරපුරට, තරුණ පරපුරට හොඳ අධ්‍යාපනයක් දෙන්න.

නිදහස් අධ්‍යාපනය ශක්තිමත් කරන්න. මේ රට පෝසත් රටක් කරන්නට ඕනෑ. මේ රටේ කෘෂිකර්ම ක්ෂේත‍්‍රය සංවර්ධනය කරන්නට, දේශීය කර්මාන්ත සංවර්ධනය කරන්න මේ රටට අවශ්‍ය සම්පත් ලබා ගන්න ඕනෑ. අපේ භාණ්ඩාගාරය ශක්තිමත් වෙන්න ඕනෑ. මේ රටේ දුගී දුප්පත්භාවය තුරන්න කරන්නට ඕනෑ.    2017 අපි නම් කරලා තිබෙන්නේ දුගී බවෙන් නිදහස් වීමේ වර්ෂය විදියටයි. දුගී බවෙන් නිදහස් වීමේ වර්ෂය තිරසර සංවර්ධන ප‍්‍රතිපත්තීන් සමග තමයි ඉදිරියට ගමන් කරන්නේ. ඒ සියලුම කටයුතුවලදි අපි ඉතාම වගකීමකින් අපේ මෙහෙවර යුග මෙහෙවර අපි ඉෂ්ට කරනවයි කියන එක ප‍්‍රකාශ කරන්නට ඕනෑ. ඒක නිසා ඉතාම අසත්‍ය අනවශ්‍ය ප‍්‍රචාර කරමින් රජය අප‍්‍රසාදයට පත් කරන්න රජයේ වැඩපිළිවෙල දුර්වල කරන්න අලුත් ආණ්ඩුවක් විදියට අලුත් වැඩපිළිවෙළේ ආරම්භය, ප‍්‍රවේශය කඩාකප්පල් කරන්න මහජනතාවට වැරදි අදහස් දෙන්න කටයුතු කරන ඒ සියලුදෙනාට මම කාරුණිකව ඉල්ලීමක් කරනවා, නව වසරක් ලබපු වෙලාවේ රට සහ රටේ ජනතාව ගැන හිතලා මේ අසත්‍ය ප‍්‍රචාරවලින් වැළකිලා සාධාරණ විවේචන ඉදිරිපත් කරමින් රජයට අවශ්‍ය සහයෝගය ලබාදෙමින් රට ඉදිරියට ගෙනියන්න සෑම කෙනෙක්ම කටයුතු කරන්නයි කියලා. ඒ නිසා මම විශේෂයෙන්ම මේ කාරණා මෙහිදි කිව්වේ ගුවන් විදුලි සංස්ථාවට වසර 50 ක් පිරෙන විට මේ රටේ මාධ්‍ය ක්ෂේත‍්‍රයේ සියලු දෙනාටම රාජ්‍ය, රාජ්‍ය නොවන ඒ සෑම කෙනෙකුටම වගකීමක් සහ යුතුකමක් තිබෙනවා.

රට සහ රටේ ජනතාව වෙනුවෙන් තමගේ වගකීම සහ යුතුකම ඉටු කරන්න. බොහෝ වෙලාවට කතා කරන බොහෝ මාධ්‍ය ආයතන තමන්ගේ තත්ත්වය උසස් කර ගන්න ආර්ථික වශයෙන් තමන්ගේ වෙළඳාම උසස් කර ගන්න බොහෝ වෙලාවට කතා කරන අලෙවිය පිළිබඳව කතා කරන විට ඒ සෑම කෙනෙක්ම තමන්ගේ පෞද්ගලිකත්වය ගැන හිතනවා වගේම මේ රට සහ රටේ ජනතාව ගැන හිතලා හැමවෙලේම කටයුතු කරන්නැයි කියලා මම කාරුණිකව ඉල්ලා සිටිනවා. රටක් විදියට තිබෙන ප‍්‍රශ්න හැමකෙනෙක්ම තේරුම් ගන්නට ඕනෑ.

මේ වගකීම හැමකෙනෙක්ම තේරුම් ගන්නට ඕනෑ. ලෝකයේ සංවර්ධනය වුණු රටවල් කොහොමද දියුණු වුණේ. ඒ කැපවීම් කළ ආකාරය, පරිත්‍යාග කළ ආකාරය. සිය වගකීම්වලදි තිබූ අධිෂ්ඨානශීලීභාවය, ආත්ම විශ්වාසය, ආත්ම ධෛර්යය ඒ සියල්ලත් එක්ක අපි ගොඩනැගෙන්නට ඕනෑ. ඒ නිසා මේ රටේ හෙට උපදින දරුවන්ට වගේම අද ජීවත් වන පාසැල් දරුවගේ ඉඳලා සමස්ත ජනතාව මේ රටේ සියලු අංශවලට මම ආයාචනයක් කරනවා, ගෞරවණීය ලෙස අධිෂ්ඨානශීලී ලෙස පරිත්‍යාගශීලී ලෙස ආත්ම ධෛර්යයෙන් සහ ආත්ම විශ්වාසයෙන් මේ උතුම් මාතෘභූමිය ගොඩනගන්න අපි සියලු වාද භේද අමතක කරලා එකම රටක එකම ජාතියක් විදියට අපි ඉදිරියට යමු. අපේ අඩුපාඩු සකස් කරගෙන හෙට උපදින දරුවන්ට ඉතාමත්ම සුන්දර වාසනාවන්ත ලෝකයක් බිහි කරමින් ගුවන් විදුලි සංස්ථාවට පනස් වසරක් පිරෙන ඒ සමරුවේදී අපේ ප‍්‍රාර්ථනාව අධිෂ්ඨානය විය යුත්තේ එයයි කියා මා විශ්වාස කරනවා.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.