• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

දක්ෂිණ සංවර්ධන සැලැස්ම ගැන කරුණු පැහැදිලි කරයි

Government logo2016දක්‍ෂිණ සංවර්ධන සැලැස්ම යටතේ හම්බන්තොටින් අක්කර 15000 ක් චීනයට පවරා දෙන බවද, බෞද්ධ සිද්ධස්ථාන හා පුරා විද්‍යා උරුමයන් විනාශ වන බව ද, පවසමින් මේ සංවර්ධන ව්‍යායාමයට එරෙහිව ජනමතයක් ගොඩනැංවීමේ කූඨ සැලැස්මක් බංකොළොත් දේශපාලනඥයන් පිරිසක් විසින් දියත් කෙරෙමින් පවතී.

 
වඩාත් සැලකිල්ලට ගත යුතු කාරණය වන්නේ එදා වරාය නගරය සින්නක්කරවම චයිනා හාබර් සමාගමට ලබාදීමට එකඟත්වය පළ කළ, එසේම දළදා මාළිගාවට බෝම්බ ගැසූ, මල්වතු පාර්ශ්වය දෙකට කැඩීමට තැත් දැරූ පිරිස් මෙසේ කිඹුල් කඳුළු සැලීමට කටයුතු කිරීමය.

දක්‍ෂිණ සංවර්ධන සැලැස්ම යටතේ විවිධ ආයෝජකයන් සමඟ ගිවිසුම් ගණනාවකට එළැඹිමට අපේක්‍ෂිත අතර මේ අතරින් දැනට අත්සන් තබා ඇත්තේ වරාය සංවර්ධනය පිළිබඳ මූලික රාමුව සම්බන්ධ එකඟතාවයට පමණි. දක්‍ෂිණ සංවර්ධන සැලැස්ම දියත් කිරීමේ දී ඉදිරියට අත්සන් තැබෙන සමහර ගිවිසුම් පිළිබඳව සාකච්ඡා ආරම්භ වී ඇති අතර සමහර ගිවිසුම් පිළිබඳව මෙතෙක් කිසිඳු සාකච්ඡාවක් හෝ සිදු කර නොමැත. එසේම ඉදිරියේ දී අත්සන් තැබෙන ගිවිසුම් පිළිබඳව වරානුකූලව මහානායක ස්වාමීන් වහන්සේලා ඇතුලූව අනෙකුත් සියලූ පාර්ශ්වයන් වෙත කරුණු හෙළි කිරීමට අදාළ අමාත්‍යවරු ක්‍රියා කරනු ඇත.

හම්බන්තොට වරාය ක්‍රියාශීලී සහ සාර්ථක වාරායක් බවට පත් කර ගත හැක්කේ ඒ ඔස්සේ අපනයනය කෙරෙන බඩු භාණ්ඩ සංඛ්‍යාව ඉහළ නංවා ගැනීමෙනි. එහෙයින් ඒ අවට ප්‍රදේශවල කර්මාන්ත ශාලා මගින් අලුතින් නිෂ්පාදනය කරන කර්මාන්ත භාණ්ඩ වැඩි වැඩියෙන් නැව්ගත කිරීමට අවකාශ සලසා ගත යුතුය. ඒ අරමුණ මුදුන්පත් කර ගැනීමට නම් අවම වශයෙන් අලුතින් කර්මාන්ත ශාලා 1500 ක් පමණ පිහිටුවීම අවශ්‍ය බව ඇස්තමේන්තු කර ඇත. මේ කර්මාන්ත ශාලා, ගබඩා සහ එහි සේවය කරන සේවක සේවිකාවන්ගේ නේවාසිකාගාර හා විනෝදාංශ පහසුකම් වෙනුවෙන් අක්කර 15,000 ක් පමණ ඉඩම් ප්‍රමාණයක් වෙන් කිරීමට අවශ්‍ය වේ යැයි ඇස්තමේන්තු කර ඇත. සත්‍ය වශයෙන්ම මෙහිදී සිදුවනුයේ ඉඩම් හඳුනා ගැනීම සහ වෙන් කිරීමක් පමණි. කර්මාන්ත ශාලා සහ වෙනත් ඉදිකිරීම් සඳහා ඒවා ලබාදෙනුයේ ආයෝජකයන් පැමිණෙන ආකාරය අනුවය.

දැනට හම්බන්තොට වරාය අවට ප්‍රදේශයෙන් ඉඩම් අක්කර 1200 ක් හඳුනා ගෙන ඇති අතර මාතර දිස්ත්‍රික්කයෙන් අක්කර 2000 ක් හඳුනාගෙන තිබේ. මොණරාගල දිස්ත්‍රික්කයෙන් හඳුනා ගෙන ඇති ඉඩම් අක්කර ප්‍රමාණය අක්කර 7000 කි. මීට අමතරව තවත් ඉඩම් ප්‍රමාණයක් මොණගරාලින් ලබාදිය හැකි බවට ප්‍රකාශ වී ඇත. මෙනයින් බලන කල හම්බන්තොට දිස්ත්‍රික්කයේ මේ සංවර්ධන කාර්යයන් සඳහා තවත් හඳුනාගත යුතුව ඇත්තේ අක්කර 4000 කට අඩු ප්‍රමාණයකි.

මෙහිදී වඩාත් අවධාරණය කළ යුතු කරුණ වන්නේ මෙතෙක් හඳුනාගෙන ඇති සහ හඳුනාගැනීමට යෝජිත  ඉඩම්වලින් 95% ක්ම රජයේ ඉඩම් වීමය. ඒ අනුව බලන කළ මේ මහා ව්‍යාපෘතිය සඳහා පුද්ගලික ඉඩම් ලබා ගැනෙනුයේ 5% ක පමණ ප්‍රමාණයකි. මේ ඉඩම් සඳහා විශේෂ වන්දි මුදල් පමණක් නොව, ඒ ඉඩම්වල ඇති නිවාස සහ වගාවන් සම්බන්ධයෙන් ද සුවිශේෂී සහන ලබාදීමට රජය කටයුතු කරයි.දැනටමත් සංවර්ධන කටයුතු සඳහා ඉඩම් පවරා ගැනීමේ දී දිස්ත්‍රික්ක ගණනාවක මේ ක්‍රමය ක්‍රියාත්මක වන අතර ඒ ඒ ප්‍රදේශවල ජනතාව ඉතා සතුටින් සහ රටේ අනාගත සංවර්ධනය පිළිබඳ කැපවීමෙන් සිය ඉඩම් ලබා දී ඇත.

සංවර්ධන සැලැස්මක් දියත් කිරීමේදී ඒ සඳහා අවශ්‍ය වන ඉඩම් ප්‍රමාණය කල් ඇතුව වෙන් කරලීම ලෝකයේ පවත්නා සම්ප්‍රදායයි. ලෝකයේ වෙනත් රටවලින් පමණක් නොව, අපේ රටට යාබදවම පිහිටි ඉන්දියාවේ තමිල්නාඩුවෙන් ද මේ සඳහා උදාහරණ ඕනෑ තරම් සොයා ගත හැකිය. චෙන්නායි නුවර සිට කාන්චිපුරම් දක්වා සංචාරයේ යෙදුණු ලංකාවාසීහු කර්මාන්ත කලාප සඳහා මඟ දෙපස ඉඩම් වෙන් කර ඇති ආකාරය පිළිබඳව ඇසින් දුටු සාක්‍ෂි දරති.

එසේම සංවර්ධන සැලැස්ම සදහා හම්බන්තොටින් අක්කර 15000 ක් චීනයට පවරා දෙන්නේය යන්න අමූලික අසත්‍යයකි. මේ සැලැස්ම යටතේ ඉදි කෙරෙන කර්මාන්ත කලාප, තාක්‍ෂණ කලාප සහ සංචාරක කලාප සඳහා ලෝකයේ විවිධ රටවලින්, විවිධ ආයෝජකයින් පැමිණෙනු ඇත. මෙම ආයෝජකයින් විසින් සිදු කරන ආයෝජන හේතුවෙන් සෘජු රැකියා ලක්‍ෂ 3 කට අධික සංඛ්‍යාවක් මෙන්ම තවත් ලක්‍ෂ ගණනකට වක්‍ර ආදායම් මාර්ග සැලසෙනු ඇත.

රජයේ හෝ පුද්ගලික ඉඩම් පවරා ගැනීමේ දී බෞද්ධ හෝ වේවා, වෙනත් ආගමික හෝ වේවා සිද්ධස්ථානයකට බලපෑමක් සිදුවන්නේ නැත. එසේම ඓතිහාසික උරුමයන්ට හානි සිදුවන්නේ ද නැත. යහපාලන රජය සංවර්ධන සැලසුම් සකස් කර ඇත්තේ එවැනි වැදගත් ස්ථාන ආරක්‍ෂා කරලීමේ, සංරක්‍ෂණය කරලීමේ හා සංවර්ධනය කරලීමේ ක්‍රමවේදයන් ද ප්‍රධාන සැලසුම් සඳහා අන්තර්ගත කරමිනි. ඒ අනුව අවට ඇති සිද්ධස්ථාන පෝෂණය කිරීම හා සංවර්ධනය කිරීම අලුතින් ඉදිවන සෑම කර්මාන්ත ශාලාවකම නිල වගකීමක් වනු ඇත.


සැබෑ තත්ත්වය මෙසේ වී තිබිය දී දැයට කිරුළ වැනි සැණකෙලි මුවාවෙන් ඓතිහාසික ජාතික උරුමයන් හා පුරාවස්තු මංකොල්ල කෑ, දළදා මාළිගාවට බෝම්බ ගැසූ, ආගමික ගෞරවයට හා භක්තියට නිගා දෙමින් මාළිගාව වටා රේස් පැදීමට හා කැබරේ නැටුම් නැටීමට අනුබල දුන්, මෙරට සංඝ භේදය පමණක් නොව ජාති භේදය, ආගම් භේදය ඇති කරලීමට උඩගෙඩි දුන් බංකොලොත් දේශපාලනඥයන් සහ පුද්ගලයන් රටේ අනාගතය විනාශ කරලීමේ මුවාවෙන් ගෙන යනු ලබන මේ අසත්‍ය ප්‍රචාරයන්ට නොරැවටෙන මෙන් අපි ශ්‍රී ලංකාවාසීන්ගෙන් ඉල්ලා සිටිමු.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.