• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

දිළිඳුකම තුරන් කිරීමේ අභියෝගය ජය ගත යුතුයි

mithripalasirisenaසෞභාග්‍යයේත්, සහජීවනයේත්, සංහිඳියාවේත් නැවුම් අපේක්ෂා දල්වමින් 2017 වසර එළැඹ ඇති බවත් තිරසර යුගයක මඟ සලකුණු ඔස්සේ ශ්‍රී ලංකාවේත් දිළිඳුකම තුරන් කිරීමේ අධිෂ්ඨාන පූර්වක හැඟීම පෙරදැරිව මිලියන 22ක ජනතාව නව වසර පිළිබඳ බලාපොරොත්තු දල්වාගෙන සිටින බව සිය අලුත් අවුරුදු සුබ පැතුම් පණිඩුවය නිකුත් කරමින් පෙන්වාදෙන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා නිසැකවම මේ අභියෝග ජය ගත යුතු බවත් පෙන්වා දෙයි.
ජනාධිපතිවරයා විසින් නිකුත් කළ සම්පූර්ණ සුබ පැතුම් පණිවුඩය

සෞභාග්‍යයේත්, සහජීවනයේත්, සංහිඳියාවේත් නැවුම් අපේක්ෂා අප තුළ දල්වමින් 2017 වසර එළැඹ තිබේ. තිරසර යුගයක මඟ සලකුණු ඔස්සේ ශ්‍රී ලංකාවෙන් දිළිඳුකම තුරන් කිරීමේ අධිෂ්ඨාන පූර්වක හැඟීම පෙරදැරිව මිලියන විසි දෙකක ජනතාව නව වසර පිළිබඳ බලාපොරොත්තු දල්වාගෙන සිටී.

නිසැකවම මේ අභියෝග අප ජය ගත යුතුය. අපට එය ජය ගැනීම අසීරු නොවේ. මානව සංහතියේ පරිණාමය සිදු වූයේම අභියෝග හමුවේ නොසැලී ස්වකීය ධෛර්යය පරම විශ්වාසය බවට පත් කර ගත් මිනිසුන් නිසාය.

අපගේ අධිෂ්ඨානයන් පරිපූර්ණ කර ගත හැක්කේ අප පූර්ණ ලෙස පොදු යහපත වෙනුවෙන් වඩාත් කාර්යක්ෂමව සහ ඵලදායීව කාලය කළමනාකරණය කරගනිමින් නිවැරැදි දේ නිවැරැදිව ඉටු කිරීමේ වගකීමට අනුගත වීමෙනි. එළැඹෙන හෙට දවසේ අපට මුහුණ දෙන්නට සිදු වන සොබාදහමේ අහිතකර සංචලනයන් අප තේරුම් ගත යුතුය. පරිසරය කෙරෙහි අප ඉතා දැඩිව සංවේදී විය යුතු බව කාලගුණික සාධක අපට බල කර කියා සිටී. සොබාදහම බොහෝ තීන්දු තීරණ ගැනීමේ බලසම්පන්න තීරකයා බව අප කිසි සේත් අමතක කළ යුතු නොවේ.

ලෝකය කාර්මික සහ තාක්ෂණ ක්ෂේත්‍රයේ කොතරම් ජයග්‍රහණ අත්පත් කර ගත්තද, සංවර්ධනයේ අපේක්ෂාසහගත බලාපොරොත්තු දල්වා ගෙන සිටියද පාරිසරික ආශීර්වාදයේ සුබ පැතුම් එහිලා අනිවාර්යය කොන්දේසියක් වේ.

අප නව වසරට පිවිසෙන්නේ ලෝකය ආර්ථික, දේශපාලනික සහ සමාජීය සංකීර්ණතා අවදි වෙමින් පවතින පසුබිමකය. අප හමුවේ ඇති අභියෝග ජය ගනිමින් සමෘද්ධිමත් ශ්‍රී ලංකාවක් ගොඩනැඟීම උදෙසා මේ යන ගමන සාර්ථක කරගන්නට එළැඹි නව වසරේ සාමූහිකව ඉතසිතින් කැප වෙමු.

ඔබ සැමට සුබ නව වසරක් වේවා!
මෛත්‍රීපාල සිරිසේන

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.