• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

ජේසුස් ක්‍රිස්තුස්වහන්සේ සදාතනික පූජනීයත්වයට ඔසවා තබනුයේ යහපත වන්දනීය ලෙස සලකන ලෝකවාසී ජනතාවයි – ජනපති

Merry christmasමිනිසා අන්‍යයන් කෙරෙහි දයාර්ද්‍ර වීමට මෙන්ම අන්‍යයන් අයිතීන් පිළිබඳව ගැඹුරින් සිතන්නට වන්නේ ඔහුගේ විශ්වාසය මත පදනම් වූ ආගමික නැඹුරුව ඔස්සේ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා නත්තල් උත්සවයට නිකුත් කළ සිය ශුභාශිංසන පණිවුඩයේ සදහන් කරයි.
වසර දෙදහස් ගණනකට පෙර ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ උපත ලබන්නේ ද අවිචාරය, සැහැසිබව සහ කෲරත්වය පිරිවැරුණු සමයකය බවත් එදවස දිළිදු ගවලෙනක් කේන්ද්‍ර කරගනිමින් ගලාගිය නව ආගමික දැක්මක ආලෝකය නැකැත් තරුවක රුවින් එදා මෙදා තුර මානව උදාරත්වයේ තවත් මග සලකුණක්ව දිදුළන බවත්, සියල්ලන් කෙරෙහි ප්‍රේමය දායාද කරමින් නත්තලේ සැබෑ පණිවුඩය වන සාමය, සතුට සහ දායාවෙන් මනුසත්බව පැහැබර කරන්නාවූ තවත් උත්කර්ෂවත් නත්තලකට සියලු කිතුණු බැතිමතුන් වෙත ශුභාශිංසන පිරිනමන බව එම පණිවුඩයේ වැඩිදුරටත් සඳහන් කරයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා නත්තල් දිනය වෙනුවෙන් නිකුත් කළ සම්පූර්ණ ශුභාශිංසන පණිවුඩය මෙසේය -:

මානව පරිණාමයේ මිනිසා ලද සුවිශේෂ ජග්‍රහණ අතර ඔහුගේ ආගමික ප්‍රවේශය අන්සියලු ජයග්‍රහණයන් අභිබවා සිටී. මිනිසා අන්‍යයන් කෙරෙහි දයාර්ද්‍ර වීමට මෙන්ම අන්‍යයන් කෙරෙහි අයිතීන් පිළිබඳව ගැඹුරින් සිතන්නට වන්නේ ඔහුගේ විශ්වාසය මත පදනම් වූ ආගමික නැඹුරුව ඔස්සේය.

වසර දෙදහස් ගණනකට පෙර ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ උපත ලබන්නේ ද අවිචාරය, සැහැසිබව සහ කෲරත්වය පිරිවැරුණු සමයකය. එදවස දිළිදු ගවලෙනක් කේන්ද්‍ර කරගනිමින් ගලාගිය නව ආගමික දැක්මක ආලෝකය නැකැත් තරුවක රුවින් එදා මෙදා තුර මානව උදාරත්වයේ තවත් මග සලකුණක්ව දිදුළයි.

සමස්ත ලෝකවාසී කිතුණු බැතිමතුන්, විශ්වීය මංගල්‍යයක් ලෙසින් සමරනු ලබන නත්තල තුළ තෙපුල් නගනුයේ මහා දයාවේ ළබැඳි රිද්මයයි. එදවස බලයෙන් උමතු වූ හෙරෝද් වැනි රජවරුන් ඉතිහාසය තුළම රඳවා සහජීවනයේත් සමාජමය යහසාධනයේත් පණිවුඩය ලොවට රැගෙන ආ ජේසුස් ක්‍රිස්තු වහන්සේ සදාතනික පූජනීයත්වයට ඔසවා තබනුයේ යහපත වන්දනීය ලෙස සලකන ලෝකවාසී ජනතාවයි.

සියල්ලන් කෙරෙහි ප්‍රේමය දායාද කරමින් නත්තලේ සැබෑ පණිවුඩය වන සාමය, සතුට සහ දායාවෙන් මනුසත්බව පැහැබර කරන්නාවූ තවත් උත්කර්ෂවත් නත්තලකට සියලු කිතුණු බැතිමතුන් වෙත ශුභාශිංසන පිරිනමමි.

සැමට සාමය සතුට පිරි සුබ නත්තලක් වේවා.

මෛත්‍රීපාල සිරිසේන
2016 දෙසැම්බර් මස 20 වන දින

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.