• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

2016 .06.28 වැනි දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළැඹුණු තිරණ පහත සඳහන් වේ.

රාජ්‍ය නිලධාරින්ගේ ධාරිතා සංවර්ධනය පිළිබඳ ක්ෂේත්‍රයේ සහයෝගිතාව සම්බන්ධයෙන් සිංගප්පූරු රජය හා ශ්‍රී ලංකා රජය අතර අවබෝධතා ගිවිසුම
සිංගප්පූරුවේ සිවිල් සේවා විද්‍යාලයේ පැවැත්වීමට නියමිත, 'ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් සඳහා වන රාජ්‍ය අංශයේ නායකත්ව වැඩසටහන' (Public Sector Leadership Programme for Senior Officials from Sri Lanka) නමැති පස්දින පුහුණු වැඩසටහනක් සිංගප්පූරු රජය විසින් ශ්‍රී ලංකා රජය වෙත පිරිනමනු ලැබ ඇත. එම වැඩසටහන, එක් වරකට පුහුණුලාභීන් 35 දෙනා බැගින් වන සේ කාණ්ඩ දෙකක් යටතේ ක්‍රියාවට නැංවීමට යෝජනා වී ඇත. ඒ අනුව, ලබන මාසයේ සිංගප්පූරුවේ සිදු කිරීමට නියමිත ගරු අග්‍රාමාත්‍යතුමාගේ නිල සංචාරය අතරතුරදී රජයේ නිලධාරීන්ගේ ධාරිතා සංවර්ධනය පිළිබඳ ක්ෂේත්‍රයේ සහයෝගිතාව සම්බන්ධයෙන් සිංගප්පූරු රජය සමඟ අව‍බෝධතා ගිවිසුමකට එළඹීම පිණිස ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා සහ රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මැතිතුමා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

2016.06.14 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළැඹුණු තීරණ පහත සඳහන් පරිදි වේ.

ශ්‍රී ලංකාව හා යුක්‍රේන් රාජ්‍යය අතර උදර්පණ ගිවිසුම
අපරාධකරුවන් තම මව්රටට ආපසු භාර දීම සම්බන්ධයෙන් දෙරට අතර සහයෝගිතාව ශක්තිමත් කරගැනීමේ අරමුණින් යුක්‍රේනය සමඟ ගිවිසුමකට එළඹීම පිණිස ආරක්ෂක අමාත්‍යතුමා වශයෙන් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. මෙරට තුළ නීතිවිරෝධී ක්‍රියාවන්හි නිරත වී යුක්‍රේනයේ රැකවරණය පැතූ තැනැත්තන් ආපසු භාර දෙන ලෙස එරට බලධාරින්ගෙන් ඉල්ලා සිටීමේ අවස්ථාව මෙමඟින් ශ්‍රී ලංකා රජය වෙත සැලසෙනු ඇත.

2016.06.07 වැනි දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළැඹුණු තිරණ පහත සඳහන් වේ.

මොරගහකන්ද - කළුගඟ සංවර්ධන ව්‍යාපෘතිය මඟින් බලපෑමට ලක්වන ජනතාව වෙත සහන සැලසීම
උතුරු මැද පළාතේ කෘෂිකාර්මික කටයුතු සඳහා බලපා ඇති ජල හිඟයට විසඳුමක් ලබා දීමත්, අනුරාධපුර, පොලොන්නරුව, ත්‍රිකුණාමලය හා මාතලේ දිස්ත්‍රික්කවල ජනතාව සඳහා පානීය ජලය සැපයීමත් ඉලක්ක කර ගනිමින් මහවැලි සංවර්ධන ව්‍යාපෘතියක් ලෙස 2007 වසරේදී ආරම්භ කරන ලද මොරගහකන්ද - කළුගඟ සංවර්ධන ව්‍යාපෘතිය වර්තමානයේ දිවයින තුළ ක්‍රියාත්මක වන විශාලතම බහු කාර්ය ගංගා නිම්න සංවර්ධන ව්‍යාපෘතිය වේ. ව්‍යාපෘතියේ ඉදි කිරිම් කටයුතු 65%ක් පමණ දැනට අවසන් වී ඇති අතර, 2016 වර්ෂයේ මහ කන්නයේ වර්ෂාව ආරම්භ වීමට ප්‍රථම ජලාශයට ජලය පිරවීම ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බැවින් ව්‍යාපෘතිය සඳහා ඉඩම් අත්පත් කරගැනීම හේතුවෙන් බලපෑමට ලක් වන නාවුල හා ලග්ගල-පල්ලේගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පදිංචි පවුල් 2,512ක් කඩිනමින් ප්‍රදේශයෙන් ඉවත් කළ යුතුව ඇත. මෙයින් පවුල් 984ක් සඳහා දැනටමත් වන්දි ප්‍රතිලාභ ලබා දී ඇති අතර, ව්‍යාපෘතිය සැලසුම් කළ පරිදි නියමිත කාලසීමාව තුළදී නිම කිරීමට හැකිවන පරිදි ව්‍යාපෘතිය මඟින් බලපෑමට ලක් වන ඉතිරි පවුල් 2,228 ප්‍රදේශ‍ෙයන් ඉවත් කිරීම සඳහා සාධාරණ ක්‍රමවේදයක් අනුව වන්දි පිරිනැමීම පිණිස මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යතුමා වශයෙන් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් ප්‍රතිපත්තියක් වශයෙන් අනුමත කරන ලදී.

2016.05.31 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළැඹුණු තීරණ පහත සඳහන් පරිදි වේ.

අලි සංක්‍රමණික මාර්ග හඳුනා ගැනීම හා එම මාර්ගවල ජීවත් වන ජනතාව ඉවත් කිරීම
වන අලි - මිනිස් ගැටුම හේතුවෙන් වාර්ෂිකව වන අලින් 250ක් පමණ මිය යන බවත් මිනිස් ජීවිත 60 - 70ක පමණ සංඛ්‍යාවක් අහිමි වන බවත් වාර්තා වී ඇත. මෙම ගැටලුව විසඳීම සඳහා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් දැනට අනුගමනය කරනු ලබන වන අලින් පලවා හැරීම හා ඔවුන් අල්ලා වෙනත් ප්‍රදේශවලට ‍මුදා හැරීම වැනි ක්‍රියාමාර්ගවල අසාර්ථක බවත් වන අලින් සිය නිජ භූමිවලින් ඉවත් කළ නොහැකි බවත් පර්යේෂණාත්මකව අනාවරණය වී තිබේ. එසේම පලවාහරින ලද වන අලින්ගෙන් ආපසු සිය නිජ බිම කරා පැමිණීමට නොහැකි වන වන අලි නව වාසස්ථානවලදී පෙරටත් වඩා ප්‍රචණ්ඩකාරී බව නිරීක්ෂණය කර ඇත.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.